ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200ක්‌ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පසුගිය වසරේ ජනවාරි මාසය වන විට ලංගම ඩිපෝවල බස් රථ 852ක් ධාවනයෙන් ඉවත් කර තිබූ අතර, දිවයින පුරා ලංගම ඩිපෝ 107ක, ප්‍රාදේශීය වැඩපොළවල් 11ක ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් විසින් මෙම බස්රථ පුනරුත්ථාපනය කිරීම ආරම්භ කරන ලදී.

2023 වසර තුළ ආරම්භ කරන ලද මෙම බස් රථ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 193 ක් පුනරුත්ථාපනය කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 193ක් වේ.

එහි දෙවන අදියර යටතේ බස් රථ 201ක්‌ පුනරුත්ථාපනය කර ඇත. ඒ සඳහා සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 270ක්‌ වේ. නව බස්රථ 200ක්‌ මිලදී ගන්නේ නම් වර්තමාන මිල යටතේ රුපියල් මිලියන 4200ක්‌ පමණ වැය කිරීමට සිදුවේ.

මෙලෙස පුනරුත්ථාපනය කරන ලද බස් රථ දෛනිකව ධාවනයට යෙදවීමෙන් රුපියල් මිලියන 10ක පමණ දෛනික ආදායමක් ලබාගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාව ලැබේ. ඉන් ලැබෙන ශුද්ධ ලාභය රුපියල් මිලියන 4කි. ඒ අනුව පුනරුත්ථාපනය කරන ලද මෙම බස් රථ දෙසිය ධාවනය කිරීමෙන් රුපියල් මිලියන 1200ක උපරිම ශුද්ධ ලාභයක් – රු. මිලියන 900ක අවම ශුද්ධ ලාභයක් වාර්ෂිකව ලබාගැනීමට හැකිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here