බදින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිළධාරියෙකු ඊයේ(01) රාත්රියේ තුවාල ලබා ඇති බව කිලිනොච්චිය,ධර්මපුරම් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ කසිප්පු ජාවාරම්කරුවෙකු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ බදින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිළධාරියා තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.
ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත 37 හැවිරිදි පොලිස් නිළධාරියෙකු අනතුරින් තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.
ධර්මපුරම්,කෝරමොටෙයි ප්රදේශයේ කැළැවක සිදුකරන කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ජාවාරම්කරු අල්ලාගැනීමට මෙහෙයුම සිදුකරන අතරතුර,සතුන් දඩයම් කිරීමට අටවා තිබු බදින තුවක්කුවක් අදාළ පොලිස් නිළධාරියාට පත්තුවි ඇති බවද පොලිසිය පැවසූහ.
තුවාලකරු කිලිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබන බවත්,තුවාලකරුගේ තත්වය තරමක් බරපතල බවත් කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)