අධි සංරක්ෂිත සත්වයෙක් වන කැස්බෑවෙකු මරා මස් පිණිස විකිණීම සදහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි යාපනයේ පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.26 වන දින යාපනය පොලිස් වසමේ පන්නෛයි හන්දිය, යාපනය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අධි සංරක්ෂිත සත්වයෙක් වන කැස්බෑවෙකු ඉතා සූක්ෂම ලෙස මස් පිණිස අලෙවි කිරීම සදහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි ශාන්ත ජෙම්ස් පාර, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සමිපත් දෙපාර්තුමේන්තුව වෙත භාර දී ඇත.
මෙම සංරක්ෂිත සතුන්ගේ ආරක්ෂාව දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර ඒ පිලිබද විශේෂ කාර්ය බලකාය විසින් නිරතුරුවම අවධානයෙන් හා කැපවීමෙන් ක්‍රියා කරණු ලබයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)