අලවතුගොඩ රිට්ටන්දෙණිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී තමන් සිටි කාමරයේ  අගුළු කඩා රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදල් ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන තිබෙන බවට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී ඔහු රක්ෂණ වන්දි ගැනීම සඳහා එම පැමිණිල්ල සිදුකර තිබෙන බව ආනවරණය වී තිබේ.

පොලීසිය පසුව ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී විදේශිය ජාතිකයා පරීක්ෂණ කිසිවක් අනවශ්‍යය බව පවසමින් පොලීසිය මගහැර ප්‍රදේශයෙන් පිටව ගොස් ඇත.

සංචාරක වීසා මත පසුගිය 22 වැනි දින බ්‍රිතාන්‍ය ජාතිකයා මෙරටට පැමිණ තිබෙන අතර මහනුවර සංචාරයක නිරත වීමෙන් පසු ඔහු අලවතුගොඩ රිට්ටාදෙණිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක් කුලියට ගෙන නතර වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. 

තම කාමරයේ තිබූ රුපියල් 90000 ක මුදලක් අත් ඔරලෝසු දෙකක්, සෝනි වර්ගයේ කැමරාවක් සහ ඇපල් වර්ගයේ කැමරාවක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබෙන බවට විදේශිකයා පසුගිය 26 දින පොලීසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව පරීක්ෂණ කිරීමේ දී අනාවරණය වී ඇත්තේ කාමරයේ දොරගුළු කාමරය තුළ සිට කඩා තිබෙන බවයි. 

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අනවශ්‍යය බවත් රක්ෂණ මුදල් ලබා ගැනීම සඳහා ලියවිල්ලක් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත්  බවත්  විදේශිකයා පවසා ඇත.

ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැකසිතී පොලීසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී ඔහු වැඩිදුර විමර්ශන අනවශ්‍යය බව පවසමින් පොලීසියෙන් පිටව ගොස් තිබේ. සිදිධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

(කමල් සුරවීර – මහනුවර)  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here