මහජන පරීක්ෂකවරු යැයි කියා දුරකතන මගින් මහනුවර ව්‍යාපාරිකයින් බියකර මුදල් ලබා ගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් මහනුවර, ගලගෙදර හා හතරලියද්ද පොලීසි වලට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ව්‍යාපාර ස්ථාන ලියාපදිංචිය, වෙළෙඳ සහතික ලබා ගැනීම ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති බව කියමින් දුරකතන මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෙස පෙනී සිටින පුද්ගලයින්  මුදල් ලබා ගන්නා බවට මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතාත් ගලගෙදර හා හතරලියද්ද මහජන පරීක්ෂකවරුනුත් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මහනුවර මහ නගර සභාවේ ඇති හෝටල් ඇතුළු ආහාරපාන අළෙවි සැල් ඒවාහි පිරිසිදුකම, ආහාරවල ගුණාත්මක භාවය ඇතුළු නිර්නායක කිහිපයක් යටතේ වර්ග කරනු ලැබූ අතර අදාළ වර්ගීකරණයේ ඉහළ ස්ථානයක් ලබාදෙන පවසමින් මහනුවර නාගර සීමාවේ ව්‍යාපාරිකයින් ගෙන් මුදල් ඉල්ලා තිබෙන බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බව කියමින් ව්‍යාපාරික ස්ථාන වලට දුරකතන ඇමැතුම් ලබා දී මුදල් ඉල්ලූ බව කියන පුද්ගලයින් 13 දෙනෙකු ගේ දුරකතන අංක සහ බැංකු ගිණුම් අංක මහනුවර පොලීසියට ලබාදුන් නමුත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවයි.

ආදළ සිද්ධිය සම්බන්ධයෙන් ගලගෙදර හා හතරලියද්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු මගින් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සේනක තලගල මහතා වෙත ද දැනුම් දී ඇත.

(කමල් සුරවීර – මහනුවර)                                   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here