මින් එහා… වසර 5කට පෙර දී ‘පාස්කු දා’ සියල්ලන් කම්පා කෙරූ ඒ ‘ත්‍රස්ත ප්‍රහාරය’. (තවමත් නොවිසඳුනු අබිරහසක් බැව් පුනා පුනා කිව යුතු නොවේ!!)
ආදරණීයයන්ට සිය ‘සමීපතමයින්’ අහිමි කරවමින්, තවත් බොහෝ පිරිස් ‘ආබාධිතයින්’ බවට පත් කරමින්, තවත් පිරිස් යළ පිළිසකර කළ නොහැකි තරමේ ‘වේදනා’ උහුළවමින් තවමත් ‘සාධාරණය, යුක්තිය’ වෙනුවෙන් ඇඟිලි ගනිමින් සිටිනවා නොවේ ද?
ඈ නිරංජලී. වසර පහකට පෙර දී ‘කටුවාපිටිය’ දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් ඇයට ඇගේ දියණියන් දෙදෙනාත් සැමියාත් අහිමි වුණා.
එතැන් පටන් අනේක දුක් විඳින ඈ සියල්ල ‘උහුලගත’ නොහැකි තැන විටින් විට සමාජ මාධ්‍යයේ අතිශය සංවේදී සටහන් ලියන්න ගන්නවා. (ඒ අතරට එක්වන ඡායාරූප ද අප්‍රමාණයි!!)
එවැනි සටහන් කිහිපයක් පහතින් බලන්න.
‘වසර පහකට පෙර අතීතයේ අද වගේ සිකුරාදා දවසක, මම පවුලක් ලෙසින් මහසිකුරාදා මෙහෙයට ගියා කටුවාපිටිය දේවස්තානයට. මගේ දූලා දෙන්නාගේ සහ මහත්තයාගේ ජීවිතයේ අවසාන මහසිකුරාදා මෙහෙය එයයි. සැලසුම් කරුවෝ කුරුමානම් අල්ලන බව නොදත් අප, බිල්ලක් වීමට පෙර බොහෝ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වූ බව පමණක් කියමි.’
‘නින්ද අහලකට නොඑන
සෑම මුරණ්ඩු රැයකම
ඔය දඟකාර මූණු පොඩි
මතකයට නැගෙනවා
කඳුළු ගඟකට පාර පෙන්නා
තදකරන් තුන් හිතම
ඉන්න මුත් අනේ මම
අම්මා කියන තැනදි නම්
වැටෙනවා හඳවතින්
මල් දෙකක් වගේමයි
පරෙස්සම් කලේ මම
රුව ගුණින් පිරුණු නුඹ
සිතට සවි ලබා දුනි
දෙව් මැදුර තුල එදා
නොවෙන්නට විනාශය
අදත් අපගේ ගෙදර
සතුටෙහි අඩුවක් නොවෙන
බව කියමි……
සැලැසුමෙන් අහිංසකයින් මරා
වසර පහකුත් ගෙවෙන මුත්
වැරදි කරුවන් සතුට සමරත්
රුපියල් වලින් දඬුවම් වසාගෙන
හැකිනම් මුදල් නැවත අයකරගෙන
ගෙනත් දීපන් මගේ දරුවන්…’








