කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

මෙම බදු මුදල් අයවීමට නියමිතව ඇතැයි පැවසෙන්නේ ඉප්පන්තිව්, වෙල්ලයි, සින්න ඉරමතිව් දූපත, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත්වලින්.

මේ අතර, කල්පිටියේ තවත් දූපත් 6කට අයත් ඉඩම් අක්කර 457 ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණද එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් යාල පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික අත්දැකීමක් සංචාරකයන්ට ලබාදීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව සදහන් වනවා.

එසේම දූහිඳ ඇල්ල ආශ්‍රිතව පරිසරහිතකාමී කඩ කාමර විස්සක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇති අතර, ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම ඊට හේතු වී තිබූ බවයි සදහන් වන්නේ.

මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේදී ආරම්භ කර 2018 ජනවාරි මස නිම කිරීමට අපේක්ෂා කර තිබූ බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here