හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී කේ එම් .ටී .බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.
අමාත්‍යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත , නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය ඊයේ කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ.එම්.ටී.බීගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය විසින් කළුතර ශීක්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගන්නා ලදී.
අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයා අනතුරට ලක් වූ ස්ථානය නිරීක්‍ෂණය කරන ලද අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙනිය මහත්මිය විසින්ද මෘත දේහය පරීක්ෂා කරනු ලැබීය.
අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂන් රෝහලට පැමිණ සිටි අයුරුද දැකගත හැකි විය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි ජනප්‍රිය මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩි වලින් සහ ශෝක ප්‍රකාශිත බැනර් වලින් අලංකාර කර තිබූ අතර , විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත නිවසට පැමිණෙමින් සිටින අයුරුද දැකගත හැකි විය.
(සම්පත් කුලරත්න – කළුතර)