ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා දැනට රඳවා සිටින තංගල්ල පැරණි බන්ධනාගාරයේ මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා සිරමැදිරියට විදුලි පංකාවක් සපයා දීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙස ඔහුගේ නීතීඥවරයා අද (26) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, තම සේවාදායකයාට කියවීමට පුවත්පත් හෝ පොත්පත් සපයා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවකට පෙනී සිටිම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා දැඩි ආරක්ෂාවක් යටතේ අද කොළඹ මහාධිකරණයට රැගෙන ආවා.
මෙහිදී ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ඉකුත් නඩු දිනයේ හරක්කටාගේ නීතිඥයින් කරනු ලැබූ ඉල්ලීම් සපුරාලීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.
එම ඉල්ලීම් පරිදි හරක්කටා නමැත්තාට මෙට්ටයක් සපයා දීමට කටයුතු කර ඇති බව පැවසු රජයේ නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ විත්තිකරුට ඥාතීන් හා නීතිඥවරු හමුවීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපරිම පියවර ගෙන ඇති බවද රජයේ නීතීඥවරයා සඳහන් කළ අතර තම සේවා දායකයාට එරෙහිව විවිධ අධිකරණවල නඩු 20 ක් පමණ පවතින බැවින් ඔහුට බාධාවකින් තොරව නීතිඥවරු හමුවී උපදෙස් ලබාදීමට අවස්ථාව තිබිය යුතු බව විත්තිකාර හරක්කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
එමෙන්ම, සිය සේවා දායකයා තම ඥාතීන් හමුවී කතාබහ කරන අවස්ථාවේදී ඒවා පටිගත කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි අවස්ථාවල පොලිස් නිලධාරින් ඒ ආසන්නයේම රැඳී සිටීම නිසා ඔවුන්ට නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
ඒ පිළිබඳව අවධානය යොමුකළ විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට යෝජනා කළේ සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් රැඳී සිටීම අවශ්‍ය වුවද මෙවැනි හමුවීම් සිදුවන අවස්ථාවේදී ආරක්ෂිත කැමරා ඔස්සේ එම කාර්යය නිරීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන්ට හැකි බවයි.
එවැනි හමුවීම් හඬ රහිතව වීඩියෝ ගතකර අවශ්‍ය නම් නිරීක්ෂණය කිරීමට හැකියාවක් තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.
තවද රජයේ නීතිඥවරයා, නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සෑම නඩුවාරයකදීම අධිකරණයට ගෙන ඒම ආරක්ෂක හේතු මත සුදුසු නොවන බැවින් මාර්ගගත ක්‍රමවේදයට ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලීමක් කළේය.
එහිදී විත්තිය නීතිඥයින් ඒ පිළිබඳ සැකකාර නඳුන් චින්තකගේ අදහස විමසූ අතර ඔහු දැනුම් දුන්නේ නඩු වාර සඳහා අධිකරණයට පැමිණීමට තමා කැමති බවය.
නඩුව මැයි 15 වනදා යළි කැඳවීමට නියමිතය.