ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අසම සම නරපතියා දුටුගැමුණු රජු මුත් මානව වංශ කතාවේ අසම සම නරපතියා රාවණා රජු ය.

කිසිදු ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් නොමැති මෙම රාවණ චරිතය මුලින්ම ඉස්මතු වනුයේ වාල්මිකී නම් සෘෂි වරයකු විසින් ලියන ලදැයි පැවසෙන “රාමායන” නම් භාරතීය වීර කාව්‍යය මඟිනි.

රාමායනයට අනුව එවක ලංකාපුරයට අධිපති මහා බලසම්පන්න රාවණා රජු ගේ ප්‍රතිවාදියා ඉන්දියාවේ රජ කළ රාම කුමාරයා ය. පසුගිය කාලය පුරා අප රට තුළ පැන නැඟි එල්ටීටීඒ යුද්ධය මත ජාතියට මානසික ජවයක් පන්නරයක් ලබා දෙනු පිණිස උත්කර්ෂයට නැංවුණු රාවණා චරිතයේ බල සම්පන්න බව එවක කෙතරම් ඉහළ මට්ටමකට පත් වී ද යත් ගෝඨාභය රාජපක්ෂගේ ජනපතිවරණ ජයෙන් උද්දාමයට පත් අප රටේ තරුණ පෙළ රට පුරා එළිමහන් තාප්ප විචිත්‍ර වත් කළ රූ රටා මඟින් වැඩිපුරම ඉස්මතු කළ චරිතය වනුයේ ද රාවණා රජු ය.

නමුත් ඉන්පසු උඩු යටිකුරු වූ දේශපාලන බලගැන්වීම මත අද ඒ සියල්ල කණ පිට හැරී තිබේ. ඒ මේ වන විට රාම කුමරු නියෝජනය කරන ඉන්දීය බලය අප රට තුළට සම්ප්‍රේෂණය වීමට පටන් ගැනීමෙනි.

ඉන්දු – ශ්‍රී ලංකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබැඳියාවේ නවමු පරිච්ඡේදයක් ඇරඹුමට අඩිතාලම සකස් කරමින් ශ්‍රී රාමයන මංපෙත් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පෙරේදා (21) පැවැත්වුණු බව මාධ්‍ය මඟින් නිවේදනය විය.

මෙ හී විශේෂයෙන්ම කිව යුත්තේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු ආරෝවක් අප තුළ නොමැති බව ය. එහෙත් ඒ සම්බන්ධයෙන් කතා කළ යුත්තක් තිබේ.

හෙළය තුළ පවතින අසම සම රාවණා බල කොටු වලට රාම කුමරුන් ගේ බැල්ම යොමු වීම ගැන තමන් රාවණා පරපුරට අයත් බව උදම් අනන “හෙළ යක්ඛ පුත්තු”එක වදනක් වත් දොඩා නැත්තාහ. එපමණක් නොවේ. ඒ සම්බන්ධයෙන් අප රටේ ඇතැයි පැවසෙන රාවණ බලය නියෝජනය කෙරෙන කිසිවකු සිංහ නාදයක් තබා මී හඬක් වත් නැඟූ බවට තොරතුරක් නැත. 

1988/89 කාල සමයේ ශ්‍රී ලංකාව තුළ භීෂණකාරී වාතාවරණයක් පැවතුණු බව වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ තිබේ. එය නිර්මාණය වීම සඳහා හේතුවුණු කරුණු අතුරින් ප්‍රධානතම කරුණ වූයේ1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම යි. එදා ඉන්දීය බලපෑම මත එම ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ම කැරලි කෝලාහල, මනුෂ්‍ය ඝාතන, පොදු දේපල ගිනි තැබීම් රට පුරා ව්‍යාප්ත විය. ඒ එම ගිවිසුම ඔස්සේ අප රටට එල්ල වන ඉන්දීය ව්‍යාප්තවාදයේ අතිශය හාකිකර බව පවසමිනි. 

මෙම ඉන්දීය විරෝධය කොතෙක් ප්‍රබල වී ද යත් එතෙක් ඉන්දියාවෙන් ගෙන්වූ බොම්බයි ළුණු නාමය ලොකු ළුණු ලෙස ද මයිසූර් පරිප්පු රතු පරිප්පු පත් කිරීමට තරම් එවක විකල්ප දේශපාලන බලය සවිමත් විය. එහෙත්, අද වන විට ඒම ඉන්දීය ව්‍යාප්තවාදය පිළිබඳව ඔවුන් ජනතාව හමුවේ ඉදි කළ ආකල්ප මන්දිර මුළුමනින් ගරා වැටී තිබේ. ඒ මෙරට විකල්ප දේශපාලනය ගෝලීය තලයට පිවිසුවාලීම පිණිස වන පියගැට පෙළ ඉන්දියාව හරහා වැටී ඇති බව ඔවුන් ද විශ්වාස කිරීමට පෙළඹී ඇති බැවිනි.ඉන්දීය රජයේ ආරාධනයෙන් මෙරට විප්ලවීය දේශපාලන නායකයන් ටයි කෝට් හැඳ ඉන්දීය රාජ්‍ය නායකයන් මුණ ගැසීම එම ඉන්දියානු විරසකයේ අවසන් පරිච්ඡේදය වීමට ද බැරි නැත.

මේ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාව රාම කුමරුන් ගේ බලය පදනම් කර ගත් ආධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කෙරෙන අතර, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීම මෙහි අරමුණ බව ද කියනු ලැබේ. එහෙත්, එය ඉන්දීය රාම බලය ව්‍යාප්ත කරවීම පිණිස අප ගේ රාවණා රජු බිත්තියට හේත්තු කර ගැනීමක් නොවෙද? යන්න නිකමට හෝ පවසන රාවණා පරපුරේ කිසිවකුත් මෙරටින් සොයා ගත නොහැකි වීම ශ්‍රී ලංකාව තුළ පැවැති රාම ආධිපත්‍යය බිඳ දමා මෙහි රාමගේ බලය මනාව තහවුරු වීම පිළිබඳ කදිම පෙරනිමිත්තකි.

(හේමන්ත රන්බණ්ඩාර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here