රාජකාරී නිල ඇදුමෙන් නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරියෙකුට පහරදී ලොරීයකින් නුවරඑළිය පීඩෘ වත්ත ප්‍රදේශයේ නිවසකට පැහැරගෙන ගොස් නිල ඇඳුම ගලවා නිල ඇඳුමේ කොටස් සියල්ල මුළුමනින්ම කෑලි කෑලි ඉරා කපා විනාශ කර සාජන්වරයා නිරුවත් කර පහරදීමේ සිද්ධියකට අදාල තවත් පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑළිය මූලස්ථාන පොලිසිය දින හතරක් පුරාවට  පරීක්ෂණ ආරම්භ කරන බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ තවත් මාස දෙකකින් විශ්‍රාම යෑමට සිටින නුවරඑළිය පොලිසියේම සැරයන්වරයෙකු වන ඒ.සී.එම්.එම්.නවාස් (59) පුද්ගලයෙකු බවද නුවරඑළිය පොලිසිය අනාවරණය කරයි ,

මෙම සැරයන්වරයා පසුගිය 24 වැනිදා සවස 06 ට රාජකාරී නිම කර එළවළු මිලදී ගැනීම සදහා බොරලන්ද ප්‍රදේශයට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී පුද්ගලයන් පිරිසක් විශාල ගලකින් පොලිස් සැරයන්වරයාට පිට ප්‍රදේශයට විසිකර පහරදී  බිම වැටුණු පසුව අතින් පයින්ද පහරදී ඇති බවත් ඉන් අනතුරුව අත පය ගැට ගසා ලොරීයකින්  නුවරඑළිය පීඩෘ වත්තේ නිවසකට ඔහු රැගෙන ගොස් එම නිවසේදීද  පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

එම ප්‍රදේශයේම පුද්ගලයෙකුගෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ලද තොරතුරකට අනුව පොලිසිය එම නිවසට ගොස් පහරකෑ නිරුවතින් සිටි පොලිස් නිලධාරියා මුදාගෙන ඔහුට ඇදුම් අන්දවා නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

මෙම පහරදීම පසුගිය 24 වැනිදා රාත්‍රී රාජකාරී සදහා වාර්තා කළ පොලිස් සැරයන්වරයෙකු වන නවරත්නම් යන පුද්ගලයාගේ මෙහෙයවීම මත සිදුව ඇති බවත් පහරදුන් පොලිස් නිලධාරියා ඇතුළු  පිරිස තමා අතැති රුපියල් විසි හයදහස් හයසයයක මුදල් සහ ජංගම දුරකතනයද කොල්ල කෑ බවත් තම නිල ඇදුම් ද ඉරා දමමින් නිරුවත්ව තමා එම නිවසේ හැරගිය බවත් පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා නුවරඑළිය මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්ය.

පහරදුන් පිරිස තමන් ජීවන් තොන්ඩමන් ඇමතිවරයාගේ පිරිස් බවත් උඹට කළ හැකි දෙයක් නැති බවත් පැවසූ බවද පහරකෑ  නිලධාරියා පොලිසිය හමුවේ පවසා ඇත.

මෙම  පහරදීම සිදුකළ පිරිස මෙහෙයවමින් පොලිස් නිලධාරියාට බව කියන   පොලිස් සැරයන්වරයා පසුගිය ජනවාරි මාසයේදී වව්නියාව කොට්ඨාසයේ සිට නුවරඑළියට පැමිණි නිලධාරියෙකු වන අතර ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී  සිය බිරිදට කරන ලද පහරදීමකට අදාල විමර්ශන සිදුකර ඇත්තේ පහරකෑමට ලක්වූ නිලධාරියා විසිනි.

මෙම විමර්ශනය තමාට අසාධාරණ ලෙස විභාග කළ බවත් සිය බිරිද හා සමීප ඇසුරක් පහරකෑමට ලක්වූ නිලධාරියා පවත්වන බවත් චෝදනා කරමින් චූදිත සැරයන්වරයා වරින් වර මෙම නිලධාරියා හා ආරවුල් වල පැටලී ඇති බවත්පොලිසිය සදහන් කරයි.

කෙසේ වෙතත් ඒයේ හව්ස වනතුරුම මෙම පහරදීමට අදාලව එකදු සැකකරුවෙකු හෝ නුවරඑලිය පොලිසිය අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර  ඊයේ රාත්‍රියේ සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවමත් පහර දීම මෙහෙයවා රාජකාරී වේලාවේදී සිද්ධියට සම්බන්ධ වී පහර දීමට කටයුතු කළ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමට  වතුකරයේ  ප්‍රභල දේශපාලකයෙකුගේ මැදිහත් වීම මත  තමන්ට අසාධාරණයක් සිදුව තිබෙන බව පහරකෑ නිලධාරියාගේ ඥාතිහු චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් අප නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් කරන ලද විමසීමකදී සදහන් කළේ එහි විමර්ශන අවසන් අධියරේ පවතින බවත් . පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරියන්වරයා හා අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය .

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here