අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම අවස්ථාවේ ද සියලුදෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී අද (04) දහවල් පැවති ජන හමුවකට එක්වෙමිනි.
රට තුළ සිදු වූ ආර්ථික කඩා වැටීමත් සමඟ, මෙරට දේශපාලනය ද කඩා වැටුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ අනුව පළමු වතාවට දේශපාලනය නොමැති ආණ්ඩුවක් නිර්මාණය වු බව ද සඳහන් කළේය.
ජනතාවට දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වුවද තවමත් රට ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, එබැවින් දේශපාලනයෙන් තොරව රට ගොඩනැඟීම වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වූ ජනාධිපතිවරයා අනතුරුව මෙම ජන හමුවට එක්වූ අතර ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.
ජන හමුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණෙන මාර්ගය දෙපස ද විශාල ජනතාවක් රැස්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟද සුහද කථා බහක නිරත විය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් රුවන්වැල්ල පිහිටි මීදෙණිය වලව්ව වෙත ද පැමිණි ජනාධිපතිවරයා එහි මද වේලාවක් රැදී සිටියේය.
නැවත ගුවන් මගින් කොළඹ බලා පැමිණෙන අතරතුර කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.