ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය.

එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.

ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්ම ආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.

එසේම මරණසන්නව සිටි රෝගියෙකු සුව කිරීමේ වගකීම තමාට පැවරුන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එම මරණාසන්න රෝගියා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් එම වැඩපිළිවෙළේදී මෙරට මහා සංඝරත්නයෙන් ලැබෙන මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන බවත් සඳහන් කළේය.

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩ විසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවේ සහ විදෙස් හි සිට මෙරටට පැමිණ වැඩවසන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මෙම “ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය” ඉදි කර තිබේ.

පස්මහල් ගොඩනැගිල්ලකින් සහ තුන්මහල් ගොඩනැගිල්ලකින් යුත් මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ එකවර භික්ෂුන් වහන්සේ පනස් නමකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි අතර කාමර 20ක්, වාට්ටු අංගනයක්, දාන ශාලාවක්, බෙහෙත් ගබඩාවක්, හදිසි ප්‍රතිකාර අංශ, කාර්යාල කාමර සහ වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාර ඇතුළු පහසුකම්වලින් මෙය සමන්විතය.

සුදුසුකම් ලත් වෛද්‍යවරුන් යටතේ රෝගී භික්ෂුන් වහන්සේට ප්‍රතිකාර ගැනීමට පහසුකම් සලසා තිබෙන අතර භික්ෂුන් වහන්සේ පන්සිය නමකට භාවානායෝගීව වැඩ විසීමට සුදුසු පරිසරයකින් යුක්තය.

දෙස් විදෙස් දායකකාරකාදීන්ගේ සහයෝගයෙන් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වෛද්‍ය උපකරණ සඳහා දකුණු කොරියාවේ හේතු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක පූජ්‍ය කටුවන විජිතවංශ හිමිපාණන් වහන්සේ අරාධනයෙන් දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂොන් Long Fong ආරාමයේ සින්දාවෝ (SinDaw) භික්ෂුණියගේ දායකත්වය ලබා දී තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ ඉටුකරන විශිෂ්ඨ ජාතික, ආගමික සහ ශාසනික සේවාව සහ දෙස් විදෙස් භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මෙම ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඉදිකරමින් සිදු කළ මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රසාදය උන්වහන්සේ වෙත පළ කරමින් සිරි සෝමේස්වර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ලෝකත්ථකාරී යන සම්මානෝපාධි ගෞරව නාමය පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

එම ගෞරව නාමයට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානයෙන් පසු උන්වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

එසේම මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපකරණ ප්‍රදානය කළ දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණින් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කළ සන්ධ්‍යා කාන්තිලතා මහත්මිය වෙත ද ජනාධිපතිවරයා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here