ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපල වටිනාකම “උරුමය” වැඩසටහන නිසා නැවත ඉහළ ගොස් ඇති බවත් එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවති උත්සවයට එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද දින සංකේතවත්ව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානයද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
පසුගිය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි වගාවන් වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සහ ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.