දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බව තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවුයේ ඒ වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (19) පැවති උත්සවය අමතමිනි.
ජනතාවට ආදායමක් ලබාදීමට අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, භූමියේ අයිතිය ලබාදීමට උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් පැවසු ජනාධිපතිවරයා දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළ බවද සඳහන් කළේය.
එක් අධ්‍යාපන කලාපයකින් 2022 (2023) වර්ෂයේදී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් 60 බැගින් තෝරාගෙන, කලාප 100ක් ආවරණය වන පරිදි එක් දරුවෙකුට මාසිකව රුපියල් 6,000 බැගින් සිසුන් 6000ක් සඳහා වසර 02ක කාලයකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම මේ යටතේ සිදු කෙරේ. 2024 මාර්තු මස සිට එම දරුවන්ගේ අ.පො.ස (උ.පෙළ) අවසන් වන තෙක් අදාළ ශිෂ්‍යත්ව ලබාදීම සිදු වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදල විසින් දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
එහිදී පාසලක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව පාදක කරගනිමින් පාසලකට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කර ඇත. ඒ අනුව පාසලකට ලැබෙන අවම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 04ක් වන අතර උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 22කි. 2024 අප්‍රේල් මාසයේ සිට මාස 12ක කාලයක් දක්වා එක් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3000/- බැගින් සිසුන් ලක්ෂයක් සඳහා මේ යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි.
ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 5108 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව හා තිළිණ ලබාදීම අද සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානයට එක් විය.
අනතුරුව ශිෂ්‍යත්වලාභී සිසු දරුවන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු ද විමසීය.