2000 වසරේ පැවති මහ මැතිවරණය සමයේ රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මියගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය රංජිත් සොයිසා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක විභාගය වහාම අත්හිටුවන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (19) අතුරු නියෝගයක් නිකුත් කළා.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු නියෝගය නිකුත් කළේ එම නඩුවේ විත්තිකරුවන් පිරිසක් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අධිචෝදනා පත්‍ර ගොනුකළ බවත් ඉන්පසුව එය ඉවත් කරගත් බවයි.

පසුව 2019 වසරේ යළි නඩු පැවරීමට කටයුතු කළ බවද නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව අදාළ නඩුව රත්නපුර මහාධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී එය මුල් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර තිබුණා.

නමුත් ඊට අදාළ ලේඛන හා කටඋත්තර විනාශකොට ඇති නිසා ඒවා නොමැතිව යළි නඩු පැවරීම නීතියට පටහැනි බවට විත්තියේ නීතිඥවරු විසින් මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගයක් පවත්වා ගෙනයාමට විනිසුරුවරිය තීන්දු කළ බවත් නීතීඥවරයා අභියාචනාදීකරණය හමුවේ පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ මහාධිකරණ විනිසුරුවරියගේ එම තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here