සමරිසි පුද්ගලයන්ට තවත් එවැනිම පුද්ගලයන් හඳුන්වාදෙන බව පවසා පාළු නිවෙසකට ගෙන්වා නිරුවත් කර පහරදී එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම්ගත් තිදෙනෙකු මිරිහාන මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුනා.

පොලිසිය සඳහන් කළේ,මොවුන් කාලයක් තිස්සේ සංවිධානාත්මකව මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බවයි.

නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සමරිසි පුද්ගලයන් සම්බන්ධ කරන යෙදුමකට සම්බන්ධ වීමෙන්‍ අනතුරුව පිටකෝට්ටේ, බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසකට ඔහුව පුද්ගලයෙකු විසින් ගෙන්වාගෙන ඇත.

එලෙස ගෙන්වාගත් පුද්ගලයාට තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පහරදී නිරුවත් කර එම දර්ශන වීඩියෝගත කර අන්තර්ජාලයට මුදහරින බවට තර්ජනය කර ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

එසේ නොකිරීමට නම් අදාළ පිරිස රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් අදාළ පුද්ගලයාගෙන් ඉල්ලාඇති අතර පසුව ඔහු ඒ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලීසිය ඔහු ලවා දුරකථන ඇමතුමක් අදාළ පිරිසට ලබාදී පවසා ඇත්තේ, මුදල් ලබාගැනීම සඳහා පිටකෝට්ටේ මංසන්දියට පැමිණෙන ලෙසයි.

සැකකරුවන් අදාළ ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඒ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ගේ ජංගම දුරකථන භාරයට ගෙන පරීක්ෂා කළ පොලීසිය ඒවායේ තිබී එලෙස ඔවුන් කප්පම් ගත් පුද්ගලයන් 6 දෙනෙකුගෙන් දර්ශන සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය ද පොලීසිය සොයා ගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවෙකුගේ පියාට අයත් දෙමහල් නිවසකදී මෙම ක්‍රියාව ඔවුන් විසින් සිදුකර ගෙන ගොස් ඇත.

එමෙන්ම එම පිරිස අවුරුදු 41 හා 59 අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here