හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු දින හතක රැඳවුම් නියෝග මත හලාවත පොලිස් ස්ථානයේ රඳවා සිටියදී එම සැකකරු සිරමැදිරියෙන් පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය පවසනවා.
මෙම සැකකරු ඉකුත් 13 දින හෙරෝයින් මිලි ග්‍රෑම් 5870 ක් සමග කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත වට්ටකල්ලිය ප්‍රදේශයේ පදිංචි (29) ජාවාරම්කරුවෙක් බව පොලිසිය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හලාවත පොලිසියේ රඳවා සිටියදී ඊයේ (16) දහවල් 12.30 ට පමණ එම සැකකරු පොලිස් සිර මැදිරියෙන් එකවරම පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
සිරමැදිරියේ රඳවා සිටි සැකකරුට ඉන් පලායාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් දිවා උපසේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා සහ, දිවා රාජකාරී භාරව සිටි පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
(මිනුවන්ගොඩ දමිත් තිසර)