රටේ ඇතිවූ බංකොලොත් භාවයට බලපෑ ඇත්ත හේතුව නිදහසින් පසුව මේ දක්වා රට පාලනය කළ සියළුම පාලකයින් රටේ වස්තුව සොරා කෑම නිසා ඇතිවී තිබෙන සුවිශේෂ තත්වයක් යන්න ජන මනසට තදින්ම කාවද්දා තිබෙන මතයකි.

එම මතය රට බංකොලොත් තත්වයකට පත්වීමත් සමග රටේ රජකළ අරාජක වටපිටාව තුළ ජවිපෙ වර්ධනය කර ගනිමින් තිබු දේශපාලන බලය ප්‍රයෝජනයට ගනිමින් එම පක්ෂය විසින් අර්බුදයෙන් විකල්වී තිබුණු සමාජ මනසේ පැළ කරන ලද නරුම මතවාදයක් ලෙස සැළකිය හැකිය.

ඒ මතවාදය වැඩියෙන්ම බලපා තිබෙන බව පෙනෙන්නේ තරුණ පරපුර කෙරෙහිය. එම මත වාදය ජවිපෙ තම ප්‍රතිපක්ෂ කෙරෙහි ජනතාව තුළ වෛරයක් හා පිළිකුලක් ඇති කරමින් තමන්ට තිබෙන පිළිගැනීම ශක්තිමත් කරගැනීමේ අරමුණින් සමාජගත කර තිබෙන මතවාදයක් ලෙස ද සැළකිය හැකිය.


ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ ඕනෑම දේශපාලන පක්ෂයකට ප්‍රතිපක්ෂ විවේචනය කිරීමේ හා ඔවුන්ගේ හොඳ නරක විග්‍රහ කිරීමේ අයිතිය තිබෙන්නේය.

එහෙත් එම විවේචනයන් හා විග්‍රහයන් සිදුවිය යුත්තේ සත්‍ය හා සාධාරණ පදනමක් මත පිහිටාය. නිදහසින් පසු රට පාලනය කල ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක හා සිරිමා බණ්ඩාරණායක යන රාජ්‍ය පාලකයින්ට දේශපාලනයේ ඔවුන් දරන ආකල්ප වලදී යම් යම් සීමීතකම් තිබුණා වුවත් කවර මට්ටමකින්වත් ඒ කිසිවකු තමන්ට තිබුණ රාජ්‍ය බලය වැරදි ලෙස ප්‍රයෝජනයට ගෙන රටේ වස්තුව සොරකම් කළ පාලකයින් ලෙස සැළකිය නොහැකිය.

ඩී. එස්. සේනානායක හා ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක පවුලට 1927 වන විට තිබුනු වතු ඉඩම් ප්‍රමාණය මයිකල් රොබට්ස් ඉදිරිපත් කර තිබෙන ගණන් හිලව් වලට අනුව අක්කර 1,414 කි. එම පවුලට ලොකු නාගරීක දේපල හිමිකමක්ද තිබුණි. ඊට අතිරේකව එම පවුලට අබේපුස්ස, මීරිගම හා පුස්සහේව යන ප්‍රදේශවල ලොකු මිනිරන් පතල් තුනක්ද තිබුණි.

මීරිගම පතලේ පමණක් වැඩ කල කම්කරුවන්ගේ සංඛ්‍යාව 3,000 කි. ඩී. එස්. ගේ බෑනා කෙනෙකුද වූ ජොන් කොතලාවලගේ පියා විවාහ වී තිබුණේ වයඹ පලාතේ ලොකුම ධනවතා වූ චාලස් ආටිගලගේ වැඩිමහල් දියණිය සමගය. කොතලාවලගේ පියාගේ මරණයෙන් පසු කොතලාවල ගේ මවගේ නමට පමණක් තිබූ වැවිලි ඉඩම් ප්‍රමාණය අක්කර 2,058 කි.

එම අගමැතිවරුන් තිදෙනාටම (ඩී.එස්. , ඩඩ්ලි හා කොතලාවල) ධනවත් පවුල් පසුබිමක් තිබුණු අතර ජාතික මට්ටමින් දේශපාලන කටයුතු සඳහා යන වියදම් දරාගැනීමේ ආර්ථික ශක්තියක් ද තිබුණි. දෘෂ්ටිය අර්ථයෙන් සීමාසහිත කම් තිබුණා විය හැකිවුවත් මා දන්නා තරමින් එම නායකයින් තිදෙනාගේ පාලන කාල තුළ ඔවුන් දේශපාලන බලය යොදා ගෙන අයථා ලෙස ධනය උපයාගත් බව පෙන්නුම් කරන කිසිදු සාක්ෂියක් නැත.

එම පවුල් දෙකම බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ විවිර වී තිබූ ආර්ථික ඉඩ ප්‍රස්ථා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම මගින් ධනවත් වූ සාමාන්‍ය පවුල් දෙකක් ලෙසද සැළකිය හැකිය. අගමැති බණ්ඩාරණායකගේ හා අගමැති සිරිමා බණ්ඩාරණායකගේ තත්වය ඊට වෙනස් විය. ඒ දෙදෙනාට රදල ඉඩම් හිමි පවුල් පසු බිමක් තිබුණද සේනානායකවරුන්ට මෙන් ධනවත් ව්‍යාපාරික පසුබිමක් නොතිබුණි.

මයිකල් රොබට්ස් ගේ ගණන් හිලව් වලට අනුව බණ්ඩාරණායකගේ පියාගේ නමට (මහමුදලි) තිබූ ඉඩම් ප්‍රමාණය අක්කර 1,831 කි. ඔහු ඉතා වියදම් අධික ජේත්තුකාර ජීවිතයක් පවත්වාගෙන ගිය මහමුදලි වරයෙකි. ලංකාවේ හොඳම විස්කි එකතුව තිබුනේ ඔහු ලඟය. එහෙත් ඔහුගේ ජීවිතේ අවසන් කාලය වන විට ඔහු ආර්ථික අමාරුකම් මැද ජීවත්වන කෙනෙකු බවට පත්ව තිබුණි.

S. W. R. D. බණ්ඩාරණායක නමට ඉඩම් තිබුණද ඒවා සේනානායක වරුන්ට තිබූ ඉඩම් මෙන් සරු ආදායම් උපයන වාණිජ වැවිලි ඉඩම් නොවීය. ඒ නිසා 1956 මැතිවරණයට අවශ්‍ය වියදම් සොයා ගැනීම සදහා රොස්මිඩ් පෙදෙසේ තිබූ සිය නිවස ලංකා බැංකුවට උකස් කොට රුපියල් ලක්ෂ දෙකක ණයක් ලබාගැනීමට බණ්ඩාරණායකට සිදු විය.

මොරින් සෙනවිරත්න ලියා තිබෙන සිරිමා බණ්ඩාරණායක චරිතාපදානයේ එන තොරතුරු වලට අනුව එම උගස බේරා ගැනීම සඳහා ගත වී තිබෙන කාලය අවුරුදු 25 කි. එම නායක දෙපළ අතින් භාෂා විෂයෙහි දී දෙමළ ජනතාවට සිදු වී තිබෙන හානිය අති විශාල වුවත් ඒ දෙදෙනා අයථා ලෙස ධනය උපයාගැනීමට තමන්ට තිබුණු දේශපාලන බලය යොදාගත් බවට සාක්ෂි නැත.

පොදු දේපළ විෂයෙහි අයුතු අත්පත් කර ගැනීම් ඇති වෙමින් එය ක්‍රමයෙන් ලොකු ප්‍රවාහයක් බවට පත්වන්නේ ආර්ථිකය නිදහස් වෙළඳපොල ආර්ථිකයක් බවට පත් කිරීමෙන් පසු හා එතෙක් පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය 1977 දී ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට පරිවර්ථනය වී ජනාධිපති නීතියට ඉහළින් සිටින තත්වයක් ඇතිවීමෙන් පසුවය. ඒ මගින් ගජමිතුරන්ට අනුග්‍රහය දක්වන ක්‍රමයක් ස්ථාපිත වී පසුව එම ක්‍රමය අන් අය පමණක් නොව රාජ්‍යය නායකයා ද අයුතු ලෙස ලාභ ලබන ක්‍රමයක් බවට පරිවර්ථනය විය.

මේ විෂයේදී 1977 න් පසු බලයට පත් සියළුම ජනාධිපතිවරුන් ඉන්නේ අඩු වැඩි ප්‍රමාණයකට චෝදනා එල්ල කල හැකි තත්වයකය. දූෂණය දේශපාලකයින්ට පමණක් සීමා නොවූ සමස්ථ ලංකා සමාජයම වෙලාගෙන තිබෙන බිහිසුණු පිළිකාවක් ලෙස සැළකිය හැකිය. පිළිකාවේ ව්‍යාප්‍තිය කොතරම් දුර ගොස් තිබෙනවාද කියතොත් දැන් ප්‍රශ්නය තිබෙන්නේ ජයගැනීම පහසු නැති තරමට දුර ගිය සංකීර්ණ තැනකය.

ඒ ප්‍රශ්නය ගැන මහජනයා දැනුවත් කිරීම ඉතා වැදගත් වුවත් සියළු පරණ පාලකයින් කෙරෙහි වෛරයක් හා ක්‍රෝධයක් ඇති කිරීම එම ප්‍රශ්නයට පිළිතුරක් වන්නේ නැත. නිදහසින් පසු බලයට පැමිණි නායකයින් ඊට පෙර බලයේ සිටි බ්‍රිතාන්‍ය පාලකයින් පවත්වාගෙන ගිය දියුණුව අඛණ්ඩ ලෙස ඉදිරියට ගෙන යාමට සමත් වී නැති බවට චෝදනා කල හැකි වුවත් නිදහසින් පසු එළඹෙන යුගය මුළුමනින් එකතැන පල්වෙන තත්වයක පැවති යුගයක් ලෙස ද සැළකිය නොහැකිය.

නිදහසින් පසු බලයට පත්වන දේශීය නායකයින් දියුණු ආකල්ප සහිත පරිණත නායකයින් වී නම් ලංකාව හිමිකරගනා දියුණුව දැන් හිමිකරගෙන තිබෙන දියුණුවට වඩා විශාල හා වේගවත් වන්නට ඉඩ තිබුණි. එවැනි සීමිත කම් තිබියදීත් නිදහසින් පසුව ලංකාව එකතැනක පල්වෙන තැනක නොතිබුණු බව හා සැලකිය යුතු තරමේ දියුණුවක් හිමිකර ගෙන තිබෙන බව අමතක නොකල යුතුය.

ඒ සදහා දැක්විය හැකි තෝරාගත් දර්ශක කිහිපයක් මෙසේය. 1948 ලංකාවේ සාක්ෂරතාව 35% කි. 1994 99% කි. ආයු අපේක්ෂාව 1948 දී අවුරුදු 54 කි. 1994 දි අවුරුදු 75 කි. ළදරු මරණ අනුපාතිකය 1948දී උපත් 1,000 ක් සඳහා මරණ 42 කි. 1994 දී එය මරණ 17 කි. රටේ සහල් නිෂ්පාදනය 1948 දී 36% ව තිබී 1994 දී 100% කි. වී අස්වැන්න හෙක්ටයාර් එකකට එම කාලය තුළ කිලෝ ග්‍රෑම් 600 සිට 3600 දක්වා වර්ධනය වී තිබේ. ඒක පුද්ගල ආදායමද මේ කාලයේදී රුපියල් 251 සිට රුපියල් 29,656 දක්වා වර්ධනය වී තිබේ. රටේ ඇතිවූ මහා බිඳවැටීම කෙරෙහි ජේවීපිය හා එල්ටීටිය ඔවුන්ගේ ප්‍රචණ්ඩ කැරලි මගින් ලබා දී තිබෙන දායකත්වයේ ප්‍රමාණය සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ඔවුන් කර තිබෙන වැරදි ආශ්‍රයෙන් ලබා දී තිබෙන දායකත්වයේ ප්‍රමණයටත් වඩා විශාලය.

සියළුම පරණ පාලකයන් දූෂිතයන් ලෙස චෝදනා කරන ජවිපෙද එම විෂයේදී සිය දීර්ග ඉතිහාසය තුළ අවංක හා ගෞරවයට හේතුවන පිරිසිදු පැවැත්මක් පෙන්නුම් කිරීමට සමත් වූ පක්ෂයක් ලෙස සැළකිය නොහැකිය. එම පක්ෂයේ නායකයින්ද පක්ෂයට ලැබුණ ලොකු අර්මුදල් වංචා කල කල අවස්ථා තිබෙන්නේය.

එතරම් ප්‍රකට නැති එක නිදර්ශනයක් මෙසේය. අපරාධ යුක්ති කොමිසන් සභා පනත අහෝසි කොට ජීවිතාන්තය දක්වා වන සිරිදඩුවමක් විඳිමින් සිටි විජේවීර හා ඊට වඩා අඩු සිරදඩුවම් විඳිමින් සිටි 71 කැරැල්ලේ සිරකරුවන් 125 ක් (මා අයත් වුයේද එම කණ්ඩායමටය) 77 බලයට පත් ජේ. ආර්. ආණ්ඩුව විසින් නිදහස් කරන ලද්දේ 1977 නොවැම්බර් 02 වනදාය. නිදහස් ලෝකයට ඒ මෙන් පසු තමන්ට ලබාදෙන ලද නිදහස ගැන ස්තූති කරන අතර වෛද්‍ය පරීක්ෂණයකට එක්සත් රාජධානියට යාමට අවසර ලබාගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන හමුවීමට විජේවීරට අවශ්‍ය වී ඔහු ඒ බව ප්‍රින්ස් ගුණසේකරට දැනුම් දුන්නේය.

ප්‍රින්ස් ඒ ගැන නිවාස ඇමති ආර්. ප්‍රේමදාසට දැනුම් දී ප්‍රේමදාස මගින් විජේවීර හමුවීම සඳහා ජේ. ආර්. ගෙන් දිනයක් හා වේලාවක් ලබාගත්තේය. ජේ. ආර්. ගේ වෝඩ් ප්ලෙස් නිවසේ සවස් කාලයක පැවති මේ ඓතිහාසික හමුවට විජේවීරට අතිරේක වශයෙන් ආර්. ප්‍රේමදාස හා ප්‍රින්ස් ගුණසේකරද සහභාගි විය.

පැය දෙකක් පමණ කාලයක් තිස්සේ කෝපි බොමින් කෙරුණ මේ සාකච්ඡාව ගැන විස්තරයක් ප්‍රින්ස් ගුණසේකරගේ “A Lost Generation – The Untold Story” යන පොතට (එය ලංකාවේ ගොඩගේ ප්‍රකාශකයින් පළකර තිබෙන පිටු 776 ක පොතකි) ඇතුළත්ව ඇතත් එම සාකච්ඡාව සිදුවූ දිනය එහි සදහන් වන්නේ නැත. පසු කාලෙක මෙම නායකයින් දෙපළ (ජේ. ආර්. හා විජේවීර) අතර වෛර සහගත බිහිසුණු ගැටුමක් ඇතිකර ගත්තද විජේවීර නිදහස් කොට කලක් යන තෙක් ඒ දෙදෙනා අතර නැතිනම් විජේවීර හා එම ආණ්ඩුව අතර මනා සහයෝගයකින් ක්‍රියාකරන තත්වයක් පැවති බව ප්‍රින්ස්ගේ එම පොතේ එන කරුණු අනුව පෙනී යයි. එසේම 1982 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ වීමෙන් පසු විජේවීරගේ හැසිරීම ගැනත්, 83 පක්ෂ තහනමෙන් පසු එම තහනම පහසුවෙන් ඉවත් කරගැනීමට පුළුවන් කම තිබියදී එසේ නොකොට සැඟවී සිටීම ගැනත් (පක්ෂ තහනමෙන් පසු විජේවීර හමුවීමට ඔහු සැඟවී සිටි ස්ථානයකට ප්‍රින්ස් ගියේය) ලියා තිබෙන්නේ කියවන්නා තුළ විජේවීර පිළිබඳව හාස්‍යය ඇති කිරීමට හේතුවන අකාරයටය.

ප්‍රතිකාර ලබාගැනීමට විදේශගත වීමට ජේ. ආර්. ජයවර්ධනගෙන් ලබා ගන්නා ලද අනුමැතියෙන් පසුව විජේවීර 1978 මැයි 29 වනදා සිට අගෝස්තු 23 අතර තුර කාලයේදී විදේශ සංචාරයක යෙදුනේය. විජේවීර එම සංචාරයේදී එක්සත් රාජධානියට, ප්‍රංශයට, රුසියාවට, කියුබාවට, පෘතුගාලට හා ඉරාකයට ද ගියේය.

ඉරාකයට ගියේ එම රටින් පක්ෂයට මූල්‍ය ආධාර ලබාගත හැකි මාර්ගයක් විවර කරගැනීමේ අරමුණින් සදාම් හුසේන් ගේ බාත් පක්ෂය සමග සාකච්ඡා කිරීම සදහාය. එම හමුව විජේවීරට සූදානම් කරදී තිබුණේ ලංකාවේ ඉරාක තානාපති කාර්‍යාලය සමග සාකච්ඡා කොට ලයනල් බෝපගේ විසිනි.

විජේවීර ගේ එම සාකච්ඡාවෙන් පසුව විජේවීර නැවත ලයනල් බෝපගේ සමග එහි ගොස් දෙවැනි සාකච්ඡාවක් ද පවත්වා තිබේ. ඉරාකයට සහාය පිණිස ඉරානයට එරෙහිව (ඒ වන විට ඉරාකය හා ඉරානය අතර ලොකු යුද්ධයක් ආරම්භ වී තිබුණි) ජවිපෙ ලංකාව තුළ ඉරාකය දෙනු ලබන ඇනවුම් අනුව ඉරානයට එරෙහිව ඉරාකය වෙනුවෙන් කරන වැඩ සඳහා ජවිපෙට මුදලින් ගාස්තුවක් ගෙවීමට ඉරාක බලධාරින් එහිදී එකඟ වී තිබේ. ඉරාකය වෙනුවෙන් ජේවීපිය කළ යුතුව තිබුණ වැඩ වුයේ ඉරාක තානාපති කාර්‍යාලය ලබා දෙන ඉරාන විරෝධි පෝස්ටර් ලංකාවේ ඇලවීම, ඉරාන තනාපති කාර්‍යාලය ඉදිරිපිට ඉරාන විරෝධි උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙය වීම යනාදියයි.

එක අවස්ථාවකදී තේ කොළ රැගෙන යාමට කොලඹ වරායට පැමිණි ඉරාන නැවක් ගිනි තැබීම සඳහා ලැබුණු ඉරාක ඇනවුමක්ද සම්පූර්ණ කරදීමට එම පක්ෂ නායකයින් බාර ගත්තේය. ආපසු යන නැවට ගිනිබත් කරවීමේ වගකීම බාර දී තිබෙන්නේ උපතිස්ස ගමනායකට ය. එය අකුරටම ඉටු කරවා දීමට ගමනායක සමත් විය. ජවිපෙ මේ වැඩ ඉරාකය වෙනුවෙන් කර දෙන ලද්දේ කුලී පදනමක් යටතේය.

ඉරාකයට කර දෙන ලද මෙම වැඩ වෙනුවෙන් ලංකාවේ ඉරාක තානාපති කාර්‍යාලය ජවිපෙට කොටස් වශයෙන් ලොකු ගෙවීමක් සිදු කළේය. විටින් විට ලංකාවේ ඉරාක තනාපති කාර්‍යාලයට ගොස් ඉරාකය වෙනුවෙන් පක්ෂය කරන ලද වැඩ වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම් (මුදල්) එම පක්ෂය වෙනුවෙන් අත්සන් කොට බාරගෙන තිබෙන්නේ විජේවීරය. විජේවීර සමග මුදල් ලබාගැනීම සදහා එම තානාපති කාර්‍යාලයට ගිය ගමන් වලට ලයනල් බෝපගේද සහභාගි වී තිබෙන අතර සමහර ගමන්වලට දයා වන්නිආරච්චි හා මහින්ද පතිරණ ද සහභාගි වී තිබේ.

එසේ විටින් විට ලබාගන්නා ලද මුදල් වල මුළු වටිනාකම කොතරම් දැයි පැහැදිලි නැතත් ලබාගත් මුදල්වල විටිනාකමේ ප්‍රමාණය ගැන දළ අදහසක් ඇති කර ගැනීම සඳහා එම මුදල්වලින් කරන ලද වැඩ ගැන දිය හැකි අසම්පූර්ණ ලැයිස්තුවක් මෙසේය.


(1) විජේවීර පාවිච්චිකල Peugeot 504 වර්ගයේ කාර් දෙක මිලදී ගැනීම – 31 ශ්‍රී 2175 හා 31 ශ්‍රී 5049
(2) 29 ශ්‍රී 1371 දරණ බස් රථය මිලදී ගැනීම
(3) 27 ශ්‍රී 372 දරණ වෑන් රථය මිලදී ගැනීම
(4) ඩැට්සන් නිසාන් පිකප් වාහනය මිලදී ගැනීම
(5)විමුක්ති ගී සංදර්ශනය සඳහා යොදාගත් සංගීත භාණ්ඩ මිලදී ගැනීම
(6) රත්මලානෙන් මිලදී ගත් ඉඩම
(7) කොහිලවත්තේ අංක 114 යන ස්ථානයේ තිබූ ජවිපෙ ඕෆ්සෙට් මුද්‍රණාලය මිලදී ගැනීම
(😎 1982 ජනාධිපතිවරණයට කරන ලද වියදමෙන් වැඩි පංගුවක් දරා තිබෙන්නේද එම අරමුදල් වලිනි.

ජේවීපියට යහමින් සල්ලි තිබුන මේ කාලයේදී කිසියම් මුදල් ප්‍රමාණයක් තෝරාගත් නායකයින් කිහිප දෙනෙකු ලඟ ආරක්ෂාවට තබා තිබියදී එම නායකයින්ට බාර දෙන ලද මුළු මුදල හෝ මුළු මුදලින් කොටසක් අතුරුදහන්වී ඇති බවට දේශපාලන මණ්ඩලයට වාර්තා වීම නිසා එම වරදට සම්බන්ධකමක් නොතිබූ දේශපාලන මණ්ඩල සාමාජිකයින් අතර ලොකු කලකිරීමක් ඇතිවී තිබේ. ආරක්ෂාව සඳහා විජේවීර තමන් වෙත තබාගැනීමට බාරගෙන තිබී ඇති මුදල රුපියල් ලක්ෂ හයකි. සෝමවංස අමරසිංහ බාරගෙන තිබී ඇති මුදල ලක්ෂ පහකි. ශාන්ත බණ්ඩාර බාර ගෙන තිබී ඇති මුදල ද ලක්ෂ පහකි. මේ කාලයේදී විජේවීර බ්‍රෑන්ඩ් නිව් ෆෝඩ් ලේසර් මෝටර් රථක් මිලදී ගත් මිල රුපියල් දෙලක්ෂ පනස් දහසකි. එය ඒ කාලේ මුදල් වල විටිනාකමේ තරම පෙන්නුම් කිරීම සඳහා දිය හැකි නිදර්ශනයකි. විජේවීර ලඟ ආරක්ෂාව සඳහා තබන ලද මුළු මුදලම නැතිවී තිබුණි.

විජේවීර නිදහසට කියා ඇත්තේ ඉන් රුපියල් ලක්ෂයක් මොරටුවේ කුසුම්සිරි නැමැත්තෙකු සොරාගෙන ඇති බවත් ඉතිරි මුදල මහනුවර පැවිලියන් හෝටලේ අයිතිකරු ආපසු ලබාදෙන පොරොන්දුව මත ලබාගත්තත් ඔහුද එම මුදල් ආපසු ලබා නොදුන් බවය.

සෝමවංශ අමරසිංහ සිය අක්කා ලඟ තබන ලද මුදලින්ද ලොකු පංගුවක් අතුරු දහන් වී තිබුණු අතර ශාන්ත බණ්ඩාර ලඟ තබන ලද මුදල් වලින්ද ලොකු පංගුවක් අතුරු දහන්වී තිබේ. ගාමිණී මුතුකුමාරණ ලියා තිබෙන පොතේද (මතක ගිනි පුපුරු සෝමවංශ අමරසිංහගේ අක්කා ලඟ හා ශන්ත බණ්ඩාරගේ තාත්තා ලඟ ආරක්ෂාවට සඟවා තබන ලද මුදල් අතුරු දහන් වී තිබෙන බව සඳහන් වෙතත් ආරක්ෂාව සඳහා විජේවීර ලඟ තබන ලද මුදල් අතුරු දහන් වීමේ කථාව සඳහන් වන්නේ නැත. මේ තොරතුරු දැන සිටියේ දේශපාලන මණඩල සමාජිකයින් පමණය. එකල දේශපාලන මණ්ඩලය සමන්විත වුයේ විජේවීර, ගමනායක, බෝපගේ, දයා වන්නිආරච්චි, වාස් තිලකරත්න, බණ්ඩාර තෙන්නකෝන් හා සෝමරත්න කළුආරච්චි යන අයගෙනි.

මේ කාලයේදී පක්ෂයේ ඉහල නායකයින්ට මුදල් වංචා චෝදනා පමණක් නොව පක්ෂයේ කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම් ගැන චෝදනා ද එල්ල වී තිබුණි. ඒ විෂයේදී ද මුතු කුමාරණගේ පොතේ ඒ ගණයට වැටෙන පක්ෂයේ විවිධ පුදගලයින් ගැන සදහන් වෙතත් විජේවීරට අදාල හලාවත මොරින්ගේ කථාව මුළුමනින් වසන් කර තිබෙන බව පෙනේ. ලයනල් බෝපගේ ” ඔබ නොදත් ජවිපෙ දැන ගතයුතු ඉතිහාසය” යන තේමාවෙන් නිකුත් කර තිබෙන වීඩියෝවකින් විජේවීරට එරෙහිව හලාවත මොරින් ගේ සම්බන්ධයට අදාලව මතුවී තිබූ විනය පරීක්ෂණය ගැන කථා කර තිබුණි. විජේවීර මොරින් සමග ඇති කරගෙන තිබුණ සම්බන්ධය නිසා තමන්ට පියදාස රණසිංහ සමග විජේවීරට එරෙහිව විනය පරීක්ෂනයක් පවත්වන්නට සිදුවූ බවත් එම විනය පරීක්ෂනයෙන් විජේවීර වැරදිකරු කරනු ලැබුවත් පක්‍ෂයෙන් නෙරපා හරින පිළිවෙතක් අනුගමනය නොකලේ පක්ෂ නිර්මාතෘ පක්ෂයෙන් නෙරපා පක්ෂය පවත්වාගෙන යාමට හැකියාවක් නොතිබූ නිසා බවත් ඔහු එහි කියා තිබෙන්නේය.

මොරින්ගේ කථාව ඔහු කියා ඇත්තේ සමහර කරුණු හෙළිකරන අතර තවත් සමහර කරුණු වසං කරන ආකාරයටය. මොරින්ගේ ස්වාමි පුරුෂයා හලාවත ජවිපෙ උද්‍යෝගිමත් පූර්ණ කාලින ක්‍රියාදරයෙකු විය. විජේවීර මොරින්ව හඳුනා ගෙන තිබුනේ ඇගේ ස්වාමි පූරුෂයා මඟිනි. මේ කාන්තාව ගැන විශේෂ ඇල්මක් විජේවීර තුල ඇතිවී ඇය තමන් ලඟ වැඩ කරන්නට ගෙන්වා ගෙන තිබෙන්නේ ඇගේ ස්වාමි පුරුෂයාගේද අනුමැතිය ඇතිවය. විජේවීර ඇය සිය ලිංගීක ආශාවන් සපුරාගැනීම සඳහා ප්‍රයෝජනට ගනිමින් සිටින බව මොරින්ගේ ස්වාමි පුරුෂයාට දැනගන්නට ලැබී ඒ ගැන සිය බිරිඳගෙන්ද ප්‍රශ්න කිරීමෙන් පසුව ඒ නිසා ඇතිකරගත් මහත් කෝපයකින් යුතුව ඔහු විජේවීරට එරෙහිව පක්ෂයට පැමිණිළි කලේය.

ඒ සමඟ ඔහු තම දුක්ගැනවිල්ල තමන් දන්නා හඳුනන පක්ෂයේ පූර්ණ කාලීනයින්ටද කීවේය. පක්ෂයට විජේවීරට එරෙහිව විනය පරීක්ෂනයකට යන්නට සිදුවූයේ මොරින්ගේ ප්‍රශ්නය පක්ෂයේ සමහර අංශවල බලවත් ලෙස කථා බහට හේතුවී තිබුණ ප්‍රශ්නයක් බවට පත්ව තිබීම නිසාය. කලක් දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කල වාස් තිලකරත්නව දෙවරක් (වරක් මොණරාගල දී ද තවත් වරක් බදුල්ල රෝහලේ දී) වෙඩි තබ්බවා මැරවීමට විජේවිර ඇතුළු එම පක්ෂයේ සමහර නායකයින්ට අවශ්‍ය වූ යේද ඔහු ප්‍රධාන කොට ඉරාක මුදල් අතුරු දහන් වීමේ කථාව හා මොරින්ගේ කථාව පිටස්තර අයට දැනගන්නට සැලැස් වීම නිසාය. පක්ෂයේ ඉහල නායකයින් අතර ඇතිවී තිබුන එම විනය පිරීහීම පකෂ තහනම් කිරීමෙන් පසුව හා දෙවැනි කැරැල්ල කාලයේදීද නොකඩවා වර්ධනයවී ගලායන තත්වයක පැවතුණි.

බැංකු, රාජ්‍යය හා පුද්ගලික ආයතන වල පඩි සල්ලි මංකොල්ල කෑම පක්ෂය තහනමෙන් පසු පක්ෂය නඩත්තු කිරීම සඳහා ධනය උපයාගත් ප්‍රධාන මාර්ගය බවට පත්වී තිබුණි. මුදල් මංකොල්ල කෑමේ අරමුණ සඳහාම රාගම සෝමසිරිගේ නායකත්වයෙන් විශේෂ ඒකකයක්ද පක්ෂය පවත් වාගෙන ගියේය. ධර්මන් වික්‍රමරත්න “ජවිපෙ දෙවැනි කැරැල්ල” නැමැති පොතේ සදහන් කර තිබෙන ආකාරයට රාගම සෝමසිරි ගේ ඒකකය විසින් 1985- 1990 දක්වා කාලය තුල රාජ්‍ය බැංකු ශාඛා 62ක තිබූ මුදල් හා රන්භාණ්ඩ කොල්ල කා තිබේ. එක බැංකුවකින් කොල්ල කන ලද මුදල් හා රන් භාණ්ඩ වල සාමාන්‍ය වටිනාකම ලක්ෂ 50 ලෙස සැලකුවද (එහි සාමාන්‍ය අගය ඊට වඩා වැඩි විය යුතුය. 1989 පෙබරවාරි 8 වනදා වැල්ලවත්ත මහජන බැංකුවෙන් කොල්ල කෑ මුදල් වල වටිනාකම පමණක් රන් භාණ්ඩ වල වටිනාකම නැතුව රුපියල් දස ලක්ෂ 22 කකි) ඉන් උපයාගෙන තිබෙන ආදායම රුපියල් ලක්ෂ 3,100 ක් ලෙස සැළකිය හැකිය.

ඊට අතිරේකව එම පක්ෂය මේ කාලය තුළ වැටුප් මුදල් කොල්ල කෑම් ද 131ක් ද සිදු කර තිබෙන අතර ඒ මාර්ගයෙන්ද එම පක්ෂයට ලැබී තිබෙන අදායම අති විශාලය. විශේෂයෙන්ම දෙවැනි කැරැල්ල කාලයේදී ජේවීපී නායකයින් අත යහමින් මුදල් ගැවසෙන තත්වයක් තිබී ඇත. ඔවුන් අතට පත්වන මුදල් වල ප්‍රමාණයන් හෝ කරන වියදම් ගණන් තැබීමකට ලක් නොවීය. ගමනායකගේ චරිතාපදානය ලියා තිබෙන රෝහිත මුණසිංහ කියා තිබෙන්නේ “පක්ෂය තහනමට ලක්ව තිබු මුල් කාලයේදී පක්ෂයට මුදල් ලැබුණු මාර්ග ඇහිරීමෙන් දැඩි මූල්‍ය අපහසුතා තිබුණත් ” පසුව ඒ තත්වය වෙනස් වූ බවත් ඒ සමඟ “නායකයින්ගේ ආරක්ෂාව හා යැපීම වෙනුවෙන් කොතරම් මුදලක් වුවද වියදම් කිරීමට පක්ෂට පුළුවන් කම ලැබී තිබුණ බව”ත් ය. (161 වන පිටුව) මුදල් පරිහරනයේදී කැරැල්ල පැවති කාලයේ ක්‍රියාත්මකවූ ලිහිල් තත්වය ගැන සඳහනක් ජවිපෙ පළකර තිබෙන “1978-2012 ජවිපෙ ගමන් මග” නැමැති පොතේද සඳහන් වේ.

“අවසාන වකවානුවේදී සම්පත් හා මුදල් පිලිබඳව නිවරදි වාර්ථා නඩත්තු නොවු අතර සාමාජිකයින් තුළ එතෙක් මුදල් හා සම්පත් පිළිබඳව පවත්වාගෙන ආ දැඩි විප්ලවීය විනය හා සදාචාරය ද බරපතළ ලෙස බිඳ වැටුණු බව පෙනෙන්නට තිබේ” ( පිටුව 70) යැයි එහි සඳහන් වේ. ඉරාකයෙන් ලැබී ආරක්ෂාව සඳහා පක්ෂ නායකයින් ලඟ තබන ලද මුදල් වංචා කිරීමට ඔවුන් බිය නොවී නම් හා එය වංචාවන් හෙළිදරව් වීමෙන් පසුත් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවීනම් මංකොල්ල කෑම් නිසා මහා පරිමාණයෙන් පක්ෂයට මුදල් ගලා එන තත්වක් ඇතිවූ විට එම මුදල් ඔවුන් නීති ගරුකව පරිහරණය කරනු ඇතැයි සිතිය හැක්කේ කෙසේද?

මහා පරිමානයෙන් වංචා සිදුවී තිබෙන තවත් වැදගත් ක්ෂේත්‍රයක් වී තිබෙනුයේ පක්ෂය වෙනුවෙන් කෙරෙන දේපළ මිලදී ගැනීම් වලදීය. විජේවීර උළපනේ පදිංචියට යන්න පෙර නැවතුම් ගෙන සිටි ගලහ ලෙව්වේගොඩ වලව්ව මිලදී ගැනීමේදී ද ලොකු වංචාවක් සිදුවී තිබේ. ඒ ගැන රෝහිත මුණසිංහ ලියන ලද ගමනායකගේ චරිතාපදානයේ වාර්ථාකර තිබෙන්නේ මෙසේය. “ලෙව්වේගොඩ වලව්ව සහිත ඉඩම හෝ බණාඩාරවෙලම වෙන නිවසක් සහ ඉඩමක් මිලදී ගැනීමට යාමේදී බ්‍රෝකර් වරයෙකු යොදා ගත් අමරසිංහ ඔහුට ලක්ෂ ගණනක අත්තිවාරමක් ලබා දුන්නේය. එහෙත් එම ගණුදෙනුව සිදුවූයේ නැත. අමරසිංහ පක්ෂයට වාර්තා කරන්නේ ඔහු මුදල් දුන් බ්‍රෝකරයා අත්තිකාරමද ගෙන පැන ගොස් ඇති බවය. කෙසේ හෝ පසුව ලෙව්වේගොඩ වලව්ව විජේවීර සඳහා මිලදී ගැනුණි. (පිටුව 124) ජවිපෙ වෙනත් පක්ෂ මෙන් රට පාලන බලය හිමි කරගෙන රට පාලනය කල පක්ෂයක් නොවෙතත් ඉහත කරුණු අනුව එම පක්ෂය දූෂණයේ කැතකුණු ඇඟ තවරා නොගත් සුපිරිසිදු පක්ෂයක් ලෙස සැළකිය හැක්කේ කෙසේද?පක්ෂයේ අර මුදල් නායකයින් විසින් වංචාකල ඉතිහාසයකට හිමිකම් කියන පක්ෂයක් රටේ පාලන බලය ලැබුනු විට වංචාවෙන් හා දූෂණයෙන් තොරව රට පාලනය කරනු ඇතැයි විශ්වාස කල හැක්කේ කෙසේද?

එම පක්ෂය 2001 වසරේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව අර්බුදයට ගිය අවස්ථාවේදී එම ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා පරිවාස ආණ්ඩුවක් ඇති කරගත්තේය. එය කඩා වැටෙන්නට යන ආණ්ඩුවට ගසන ලද මුක්කුවක් විය. ඉන්පසු 2004 දී චන්ද්‍රිකා ආණ්ඩුව සමග සන්ධානයකට යමින් එම සන්ධානයෙන් තරඟ කොට පාර්ලිමේන්තු ආසන 39 ක් දිනාගනිමින් එම සන්ධාන ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමති ධූර හතරක් ද හිමි කරගත්තේය.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහනය වෙනුවෙන් අති විශාල වැඩ කොටසක් ඉටු කරන ලද අතර 2015 ජනාධිපතිවරණයේ දීද මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහනය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් ඉටු කොට යහපාලන ආණ්ඩුවේ අසාර්ථක දූෂණ විමර්ශන වැඩසටහනේ ප්‍රධාන විධායක බලයද එම පක්ෂය තමන් වෙත හිමි කරගත්තේය. (එහෙත් එම කටයුතු කලේ ප්‍රසිද්ධියේ නොව මුහුණ සඟවාගෙනය) විටින් විට මේ පක්ෂය විවිධ පුද්ගලයින් බලයට ගැනීම සඳහා දර දිය ඇදීම වෙනුවෙන් ඉරාක තානාපති කාර්‍යාලයෙන් වරදාන ලබා ගත් අකාරයටම විවිද වරදාන ලබාගත්තේය.

එසේ ලබාගත් වරදාන අතර මුදල්, පක්ෂ නායකයින්ගේ දරුවන්ට සුපිරි රැකියා, කාඩර්වරුන්ට හා ආධාරකරුවන්ට රැකියා, මුදල් උපයාගත හැකි විවිධ කොන්ත්‍රාත් යනාදිය ප්‍රධානය. 2005 ජනාධිපති වරණයේදී තමන්ගේ ජයග්‍රහනය වෙනුවෙන් කරන ලද කාර්‍ය්භාරය සලකා මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා එම පක්ෂයට ගුවන් විදුලි විකාශණ බලපත්‍රයක් ලබා දෙන ලදී.

එම බලපත්‍රයෙන් ආරම්භ කල ගුවන් විදුලි නාලිකාව පසු කලෙක එම පක්ෂය විකුණුවේය. එය රජයේ භාණ්ඩාගාරයට යා යුතු ධනයක් පක්ෂය ට හිමිකරගත්තා හා සමානය. අධිකරණය කාබාසිනියා කළ අන්ත දූෂිත අගවිසුරුවරයෙකු වූ සරත් සිල්වා සමග පවත්වාගෙන ගිය ජුගුප්සා ජනක සම්බන්ධය දුෂණ විෂයේදී ජවිපෙට තිබුණ විකාර රූපි පැවත්ම පෙන්නුම් කල හොඳ නිදර්ශනයක් ලෙස සැළකිය හැකිය. 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස මුලදී කරලියට ගෙන ඒමට ජවිපෙ තීරණ කර තිබුණේ දුෂණ විෂයේදී නාමධාරි තත්වයක් හිමිකරගෙන තිබුණ සරත් සිල්වා ය. එම උත්සහාය වැලකුනේ සරත් ෆොන්සේකා දේශපාලන කරළියට පැමිණීම නිසාය. ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදල ජවිපෙ කල්පනා කරන විදියේ දක්නට තිබෙන දූෂිත හා විකාර රූපී ස්වභාවය පෙන්නුම් කරන තවත් වැදගත් නිදර්ශනයක් ලෙස සැළකිය හැකිය.

2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප්, පළාත් සභා මන්ත්‍රී වැටුප්, පළාත් පාලන නියෝජිත දීමනා, මන්ත්‍රී විශ්‍රාම වැටුප් හා පළාත් සභා කාර්‍ය මණ්ඩල දීමනා වශයෙන් පක්ෂයට ලැබී තිබෙන මුළු ආදායම රුපියල් මිලියන 34.54 කි. පුද්ගලයෙකුට වැටුප් හා දීමනා වශයෙන් ලැබෙන මුළු මුදල පක්ෂ අරමුදලකට හෝ වෙනත් කවර යහපත් දෙයකට වුවද ලබාගැනීම නීතියට පට හැනිය.

ඊටත් වඩා භයානක හා හාස්‍ය ජනක දේ වනුයේ වැටුප් හෝ දීමනා ලබාගන්නා මහජන නියෝජිතයින් ගණයට වැටෙන සියළු දෙනාගේ වැටුප් හා දීමනා පක්ෂ අරමුදලට ගෙන ඔවුන්ගේ පවුලේ සාමාජික වියදම පක්ෂයේ ගජ මිතුරන්ගෙන් උපයාගැනීමට ඔවුන්ට ඉඩ දී තිබීමය. තමන්ගේ මහජන නියෝජිතයින් නඩත්තු කරන ගජමිතුරන් කවුද කියා හා මසකට එක මහජන නියෝජිතයෙකුගේ පවුලක් නඩත්තු කිරීමට ගජමිතුරන් කරන වියදමේ සාමාන්‍ය අගය කුමක්ද කියා ජවිපෙට රටට පැහැදිලි කල හැකිද?

වෙනත් පක්ෂවල අය ගජ මිතුරන්ගෙන් යැපීම හෝ ඔවුන් ගෙන් ආධාර ලබාගැනීම ඔවුන් ට පෙරළා ආධාර කිරීම දූෂණයක් ලෙස සලකන පක්ෂයක් තමන්ගේ සියළු මහජන නියෝජිතයින් ගජ මිතුරන් මත යැපෙන තැනකට තල්ලු කිරීම තරම් හාස්‍ය ජනක දේශපාලනයක් තවත් තිබිය හැකිද?

(වික්ටර් අයිවන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here