ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ” පස් පොඩ්ඩා ” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු අද (10) උදෑසන යළි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.
මොහු මීගමුව , කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති අයෙක්.
මොහු ගම්පහ ” පස් පොඩ්ඩා ” ට ඉකුත් 2022 ජූලි මස වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව , එසැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළා ගොස් තිබුණා.
ඉන්පසුව අද උදෑසන 06.07 ට සජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.එන්. – 502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හඳුනා ගෙන , අත් අඩංගුවට ගෙන , පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දුන් බව සඳහන්.