රජය ගත් ජනප්‍රිය නොවන තීන්දු හේතුවෙන් ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (04) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වර්තමානයේ බඩු මිල අඩුවන්නේ වසර දෙකක් තිස්සේ ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා බවත්, ගෑස් මිල, ඩීසල් මිල අඩු වන්නේ ඒ ආයතන ආරක්ෂා කර ශක්තිමත් කිරීමට නිසි අවස්ථාවේ තීන්දු ගත් නිසා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගියදා සිමෙන්ති නිෂ්පාදකයන් හා ආනයනකරුවන් සමග සිමෙන්ති මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය. එහිදී සිමෙන්ති මිල ඉහළ මට්ටමක පවතින බවට පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවත්,වෙළෙඳපලේ විකුණුම් මිල හා උපරිම සිල්ලර මිල (MRP) අතර රුපියල් 400ක පමණ මිල වෙනසක් හේතුවෙන් අතරමැදියන් වාසි ලබමින් පාරිභෝගිකයා අපහසුතාවයට පත් වන බවත් සඳහන් කරන ලදී. පාරිභෝගික කටයුතු අධිකාරිය සමග සිමෙන්ති කොට්ටයක පිරිවැය හා මිල ගණනය කිරීමටත්, ඒ අනුව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නමුත් ඊට ප්‍රථම සිමෙන්ති නිෂ්පාදකයන් විසින් මෙම රුපියල් 150ක මිල අඩු කිරීම සිදු කර ඇති බවත් ඉන් සෑහීමට පත්වීමට නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

සිමෙන්ති කොට්යක උපරිම සිල්ලර මිල රුපියල් 2000- 2050 අතර හෝ ඊට අඩුවෙන් පැවතිය යුතු බවත්, එසේ නොවුනහොත් පාරිභෝගික අධිකාරියේ මිල ගණනය කිරීමෙන් පසු උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලටද අමාත්‍යවරයා පිළිතුරු සපයන ලදී. ඒ අනුව රජය මගින් පාන් වල බර පිළිබද නීතිය වැනි පාරිභෝගිකයා ශක්තිමත් කිරීමට අවශ්‍යය නීතිරීති රැසක් සම්මත කර ඇති පසුබිමක, රටේ භාණ්ඩ මිල පාලනය සඳහා පාරිභෝගිකයාටද සක්‍රීය වගකීමක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන ලදී. දැනුවත් පාරිභෝගිකයකු ලෙස භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එහි මිල හා බර සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට හැකිවිය යුතු බවත් , මුළු රටම ආවරණය වන පරිදි වැටලීම් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් මේ මොහොතේ අධිකාරිය සතුව නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටේ ආපදා තත්ත්වය හමුවේ සතොස ශාඛා ජාලය හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිසාපතිවරුන් හරහා කාර්යක්ෂමව ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය ලබා දීම සිදු කරන බවත්, ඒ අනුව කිසිදු භාණ්ඩ හිඟයක් හෝ සඟවා තැබීමක් ඇති නොවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here