තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 6 වැනිදා ධීවර රැකියාවට පිටත්ව ගිය ඩෙවොන් පහ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් තිදෙනකු විෂ ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි තංගල්ලේ ධීවරයෝ පවසති.
මෙම ධීවර යාත්‍රාව ඉකුත් 06 වැනිදා ධීවරයන් හය දෙනකු සමග රැකියාව සඳහා පිටත්ව ගොස් ඇත.
එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන්ට විෂ ශරීරගත වීමක් සිදුව ඇති බව තංගල්ල ධීවර වරායට රේඩියෝ තාක්ෂණයෙන් දැනුම් දී තිබිණ.
එලෙස විෂ ශරීරගත වූ ධීවරයන් තුන් දෙනෙකු අද දහවල් වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව දන්වා තිබූ අතර ඩෙවෝන් 5 ධීවරයාත්‍රාවේ හිමිකරුට අයත් ඩෙවෝන් 2 ධීවර යාත්‍රාවෙන් රෝගී ධීවරයන් පිරිස ගොඩබිම කරා රැගෙන එමින් පැවතිණි. ඩෙවොන් පහ ධීවර යාත්‍රාවේ ස්කීපර් වරයාද මියගොස් ඇතැයි ධීවරයෝ කියති.
ධීවරයන් ධීවර යාත්‍රාවෙන් රැගෙන ඒමට දින ගණනාවක් ගතවන බැවින් ධීවරයන් ඉල්ලා සිටින්නේ නාවික හමුදාවෙන් හෝ ගුවන් හමුදාවෙන් ගොස් ඔවුන් ගොඩබිමට රැගෙන එන ලෙසයි.
රෝගී ධීවරයන් රැගෙන ඒමට නාවික හමුදාව මැදිහත් නොවුණු බව කියමින් ධීවරයන් සහ ඔවුන්ගේ ඥාතීන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේදී සම්පූර්ණයෙන් අවහිර කර විරෝධතාවක නිරත වූහ.
ඔවුන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ක්‍රමයකින් ඉතිරි ධීවරයන් තිදෙනා බේරාදෙන ලෙසයි. ප්‍රධාන මාර්ගය අවහිර කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට තංගාල මූලස්ථාන පොලිසිය සහ බෙලිඅත්ත පොලිසිවල නිලධාරීන් පැමිණියද ධීවරයන්ගෙන් ඔවුනට දැඩි විරෝධයක් එල්ලවිය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරියගෙන් කල විමසීමේදී ඔහු පවසූයේ අනතුරට ලක්වූ ධීවරයන් රැගත් බහු දින ධීවර යාත්‍රාව නාවික සැතපුම් තුන්සීයකට අධික දුරකින් පවතින අතර ධීවරයන් රැගෙන ඒමට නාවික හමුදා යාත්‍රාවලට දීර්ඝ කාලයක් ගතවන බවයි.
එම ධීවර යාත්‍රාව ආසන්නයේ පිහිටි නැව්වලට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවද හෙතෙම කීවේය.
(තංගල්ල සහම්පති මානගේ)