වළගම්බා රජ සමයට අයත් වසර 700 කට වඩා ඉපැරණි මහනුවර අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලය කඩා රජ සමයේ සිට එහි තැන්පත් කොට තිබූ මිල කළ නොහැකි කෞතුක වස්තුන් රැසක් සොරකම් කොට ඇති බව දේවාල බස්නායක නිලමේ කුලතුංග බණ්ඩාර පවසයි.                                                                                                                

ඉතාමත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම අලවතුගොඩ සමන් දේවාලයේ දොර අගුළු කඩා 24 දින රාත්‍රී හෝ 25 දින අලුයම් කාලයේ ඇතුල් වී ඇති පිරිසක් කෞතුක වටිනාකමින් යුත් දේවාභරණ බුදුපිළිම මෙන්ම පින් කැටය පවා කොල්ලකා ඇති බව සඳහන් කළ බස්නායක නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම දේවාභරණ නොමැතිව මෙවර  වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීම පවා නැවැත්වීමේ අවදානමක් උද්ගතව පවතින බවය.                                                  

මෙයට පෙර කීපවරක්ම මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති සමන්දේවාලයට නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස වගකිවයුතු අංශ වෙතින් කොතෙක් ඉල්ලීම් කළද මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොවූ බවද බස්නායක නිලමේවරයා පැවසීය.        

දේවාලයේ කාරිය කරවන රාළ වන ආර්.එම්. බණ්ඩාර සඳහන් කළේ රන් රිදී හා පිත්තල යොදා නිර්මාණය කළ දේවාභරණ මෙන්ම මැණික් ගල් ඔබවා තිබු දේවාභරණද අතුරුදහන්ව ඇති බව දේවාල කපු මහතා තමාට පැවසූ බවය. මෙම දේවාලයේ ආරක්ෂාව සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරීයෙක් අනුයුක්ත කොට තිබූ බව සඳහන් වන අතර සොරකම සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here