ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ගෘහ ඒකකවලින් සියයට 22ක් ණය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව කියන්නේ සමස්ථ ගෘහ ඒකකවලින් සියයට 60.5කගේ සාමාන්‍ය මාසික ආදායම අඩුවී ඇති බවයි.

ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳව ගෘහ ඒකක සමීක්ෂණයේ 2023 වර්ෂයේ වාර්තාවට අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබුණා. ආර්ථික අර්බුදය හේතුවෙන් අවුරුදු 03ත් 21ත් අතර සියයට 54.9ක පුද්ගලයින්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑම් එල්ලවී ඇති බවයි.

ඉන් සියයට 93.5ක් එම බලපෑම අවම කිරීම සඳහා උපාය මාර්ග අනුගමනය කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් 2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 14.2කට රැකියා අහිමි වී ඇති අතර ස්ත්‍රීන්ට සාපේක්ෂව පුරුෂයින්ගේ රැකියා අහිමිවීමේ ප්‍රතිශතය ඉහළ බවයි වාර්තා වෙන්නේ.

2023 වර්ෂයේ දී මෙරට සමස්ථ ගෘහ ඒකකවලින් සියයට 91ක සාමාන්‍ය මාසික වියදම වැඩිවී ඇති අතර සමස්ථ ජන ගහනයෙන් සියයට 7ක් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමය වෙනස් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

ප්‍රතිකාර ලබාගැනීම වෙනස් කිරීමට හේතුවූ කාරණා සැලකීමේදී සියයට 81.7ක බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ තමන් සතුව ප්‍රමාණවත් මුදල් නොමැතිවීම ඊට හේතුව බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here