කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුගේ සිර දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා.
එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් වල තීන්දුව දෙමින් විනිසුරු පී.කුමාරන් රත්නම් මහතාගේ එකගතාවය සහිතව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.
එම සිර දඬුවම කුරුණෑගල මහාධිකරණය විසින් එම තීන්දුව ලබා දුන් 2023 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට ක්‍රියාත්මක විය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.
2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිර දඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.
එම සිර දඩුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම් වල තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.