ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (15) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.

නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති බවයි.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුවක් ලබා දී තිබුණ ද ,එය ජනමත විචාරණයකින් තවමත් අනුමත වී නොමැති බව පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයකින් සම්මත කර ගන්නා තෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්.

ජනමත විචාරණයකින් අනුමතවීමෙන් පසුව ජනාධිපතිවරයා අත්සන් තබා නොමැති නිසා නීතියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පිළිගෙන කටයුතු කිරීම නිත්‍යානූකූල නොවන බව ද, පෙත්සමේ දැක්වේ.

මේ අතර, අදාළ පෙත්සම සඳහා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින්නැයි, නීතිපතිවරයාට වාචිකව දැනුම් දුන් බව එම කොමිසම පවසයි.

මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුත් ලිපියකින් ඒ පිළිබඳ නීතිපතිවරයාට අනිද්දා පෙරවරුවේ දැනුම් දීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here