ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කර කාගේ හෝ වල්ගයක් බවට පත් කිරීමට නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමකට අවශ්‍යය වී ඇතැයි අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18) මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවේ පැවසුවේය.

මෙම පිරිස පිටත සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ අවුල් කිරීමට උත්සහ කරන බවත් එය  ප්‍රශ්නයක් කර නොගෙන පක්ෂයේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන සංවිධායකවරු ඇතුළු  90 % කගේ සහයෝගය සමඟ තමන් දේශපාලන කටයුතු සිදුකර ගෙන යන බවත් ඒ මහතා කීය. 

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියෝ සහ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ ශීලානන්ද හිමිද මෙම අවස්ථාවට සහභාගි වූහ.                                                                                                          

එහි දී විජයදාස රාජපකෂ මහතා මෙසේ ද පැවසුවේය.උසාවි වල නඩු කිහිපයක් තිබෙනවා. ඒවා කවදා විසඳුනත් අපිට කමක් නැහැ. අවුරුදු තව 10 ක් ගියත් ප්‍රශ්නයක් නැහැ. පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින් සියලු දෙනා එකට එකතු වෙලා මා සමඟ ඉන්නවා. මහජන මතය කියන එක උසාවියෙන් විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. පක්ෂය ඉදිරියට එන එක වලක්වන්න තමයි උසාවියට ගිහින් තියෙන්නේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න තමයි ඒ අය උත්සහ කරන්නේ. නිමල් සිරිපාල ඇතුළු සුළු පිරිසකට ඕන වෙලා තියෙනවා පක්ෂය දිය කරලා දාලා කගේ හෝ වල්ගයක් බවට පත්වෙන්න. මැතිණිය යි කොබ්බෑකඩුව මැතුතුමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරලා ජයග්‍රහණය කරන්න බැරි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ වලට ඉදිරිපත් වෙලා තියෙන්නේ සන්ධන ලෙසයි. වමෙ පක්ෂ අපිත් එක්ක ඉන්නවා. 94 චන්ද්‍රිකා මැතිණය ඉල්ලුවෙත් පුටුව ලකුණෙන්. මෙවර ජනපතිවරණයට අප ඉදිරිපත් වෙන්නෙත් සන්ධානයකින්. 

ජාති,ආගම් භාෂා භේද වලින් තොරවූ ජාතික සමගිය සහිත සංවර්ධනය වූ රටක් අපට අවශ්‍යය යි. විශේෂයෙන්ම හොරුන් ගෙන් දූෂිතයින්ගෙන් අල්ලස්කාරයින් ගෙන් කොමිස්කාරයින් ගෙන් තොර ආණ්ඩුවක් හදලා රට බේරා ගැනීමට ජනතාවගේ සහය  අවශ්‍යයයි. එ සඳහා අපිට ලොකු තරඟයක් නැහැ. අපේ රටේ 90 % ක් විතර ජනතාව ඉන්නේ අපේ මතයේ යි.  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ බත්තරමුල්ලේ ශීලාන්නද හිමි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන්ද බැහැදැක රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළහ.

(කමල් සුරවීර  මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here