පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතයි.

එම දිස්ත්‍රික්කවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට සහ අදාළ ව්‍යවසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් හෝ අවතැන් වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට මෙම විශේෂ නිවාඩුව හිමිවනු ඇති.

මෙහිදී අදාළ නිලධරයා විසින් විශේෂ නිවාඩු ලබා ගැනීම සඳහා, තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව ද සඳහන් කරමින් නිකුත්කර ඇති ආකෘති පත්‍රයට අනුව, ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුයි.

ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද නිලධරයාගේ ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් පරීක්ෂා කර එහි නිරවද්‍යතාව පිළිබඳ පෞද්ගලිකවම සෑහීමකට පත්විය හැකි නම්, නිලධරයාගේ පාලනයෙන් බැහැරව ඉහත හේතු යටතේ සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දින ගණන සඳහා පමණක් විශේෂ නිවාඩු අනුමැතිය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වෙන්නේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here