අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ LTL සමූහ ව්‍යාපාරය විසින් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රය මෙන්ම අටමස්ථානයම සුර්ය බලයෙන් බල ගැන්වීමට රජයේ සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අද පෙරවරුවේ අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා සූර්යබල විදුලි පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

මේ අතර අනුරාධපුර පුද බිම වෙත පැමිණ සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් LTL හෝල්ඩින්ග්ස් සමාගම දියත්කර ඇති ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන සැලැස්මේ ප්‍රථම අදියර ලෙස කිලෝ වොට් 150 ක සූර්‍ය බල පද්ධතිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කර ඇත.

ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවය මෙම සූර්‍ය බල පද්ධතිය මඟින් සපයනු ලබයි. මේ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා එම පරිශ්‍රය ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන කලාපයක් බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here