සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීරණයට අනුගතව එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව, 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මේ වනවිට බලාත්මකව පවතිනවා.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට පෙර ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් සංශෝධන යෝජනා කර තිබූ නමුත්, කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණ.

ඒ අනුව, එම සංශෝධන ඇතුළත් කරමින් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිශ්කාශනය ලැබී තිබෙනවා.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පිළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here