ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ජපානය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

මෙරටට පැමිණි නිවාස, ඉදිකිරීම් හා නාගරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත ජපාන ඉහළ පෙළේ දූත පිරිස සහ ජනාධිපතිවරයා අතර ඊයේ (18)  ජනාධිපති කාර්යාලයේදී හමුවක් පැවතුණා.

එහිදී, එම දූත පිරිස විසින් ජනාධිපති රනිල් වික්‍රම්සිංහ මහතාට මේ බව පවසා තිබුණා.

කෘෂි නවීකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී මෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගනිමින් සමීප සබඳතා තහවුරු කරගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම, දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බවද ජපාන දූත පිරිස මෙහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

පසුගිය රජය විසින් අතරමග නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ ජපාන දූත පිරිස කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට මනා පිටිහවලක් වන මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාව පවතින ස්ථාන නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බවද මෙහිදී සඳහන්කර තිබුණා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here