හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පාක්‍යසෙල්වම් අරියනේන්ද්‍රන් මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස තරග කරන බව නිවේදනය කර තිබෙනවා.

ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2001 දෙසැම්බර් මැතිවරණයෙනි. එම මැතිවරණයෙන් මාස දෙකකට පෙර පිහිටුවා ගත් දෙමළ ජාතික සන්ධානයට උතුරු – නැගෙනහිරින් මන්ත්‍රීවරුන් 15ක් පත් වුනා. ඉන් යාපනය දිස්ත්‍රික්කයට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 06 ගෙන් එක් මන්ත්‍රීවරයෙකු වුනේ අරියනේන්ද්‍රන් මන්ත්‍රී.

අරියනේන්ද්‍රන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලන්කෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ සාමාජිකයෙක්. ITAK පක්ෂය පාර්ෂව 03ට වෙන් වෙලා ජනාධිපතිවරණය සම්බන්ධ මත 03 ක් තියෙනවා. කොළඹ සුමන්තිරන් පාර්ශවය දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාට විරුද්ධයි. නමුත් අරියනේන්ද්‍රන් නියෝජනය කරන යාපනයේ ශ්‍රීධරන් කණ්ඩායම ෆෙඩරල් විසඳුමකට දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න තීන්දු කර තිබුණේ පසුගිය ජනවාරි ත්‍රිකුණාමලය ITAK සම්මේලනයෙන් සුමන්තිරන් මන්ත්‍රී පරදවා ශ්‍රීධරන් සභාපති වුනාට පසුවයි. ඒ අනුව අරියනේන්ද්‍රන් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස තරග කරන්නේ ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් කියලා වාර්තා වෙනවා.

යාපනයේ ෆාදර් සෙල්වා කලාගාරයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් නිවේදනයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීකාන්තන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here