වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රජය විසින් දැනට ලබා දෙන රුපියල් 10,000ක පොහොර සහනාධාරය ලබන වසරේ සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 30ක් පමණ වේ.

වගා කන්න පහක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සදහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව වී වගාවට අවශ්‍ය පොහොර කළට වේලාවට යෙදීම කළ යුතුය. දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහා ගෙන ඇතත් පැවැති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොතිබිණී.නමුත් දැනට රටේ ආර්ථිකයේ යම් ස්ථාවරභාවයක් ඇති වී තිබෙන හෙයින් පොහොර සහනාධාරය සඳහා ලබා දෙන මුදල වැඩි කිරීමට හැකියාවක් තිබේ. එමනිසා ලබන වසරේ යල කන්නයේ සිට පොහොර සහනාධාර මුදල රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම සඳහා කටයුතු යොදන ලෙස ඇමැතිවරයා රජයට යෝජනා කර තිබේ.

අද (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බැව් අනාවරණය කළේය.

එමෙන්ම ඉදිරි මහ කන්න දෙකේ දී MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට ද නියමිතය. ඒ අනුව ගොවීන්ට අවශ්‍ය සමස්ත MOP පොහොර ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here