මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කරත් දී ශ්‍රී දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් යොමුකර ඡායාරූප ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අදාළ ඩ්‍රෝන කැමරාව පියාසර කරනු නිරීක්ෂණය වීමෙන් පසු ඩ්‍රෝන ජෑමරය උපයෝගි කර ගනිමින් එය පහත හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකින් පසු එම ඩ්‍රෝන කැමරාව දළදා මැදුරට නුදුරින් පිහිටි හෝටල් පරිශ්‍රයක තිබී සොයා ගෙන තිබේ.

එම ස්ථානයෙන් සැකකටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් මහනුවර පොලීසිය කළ දැනුම් දීමකින් අනතුරුව අදාළ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.

මහනුවර පදිංචි 47 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් මෙම ඩ්‍රෝන කැමරාය ගුවන්ගත කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා ගුවන් ගත කළ නොහැකි බවත් විශේෂයෙන් ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපයට එවැන්නක් යොමු කිරීම බරපතළ ගැටලු ඇති කරන්නක් බවත් පොලීසිය පවසයි.තුන්වන රන්දෝලි පෙරහර දින ද මහනුවර වැව රවුමේ සිට තරුණයින් දෙදෙනෙකු ඩ්‍රෝන කැමරාවක් පෙරහර සීමාවට යොමු කර තිබිය දී ගුවන් හමුදා නිලධාරීන් විසින් එය බිම හෙළා සැකපිට අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here