කෙටි කලක් තුළදී රට ස්ථාවර කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් හා ජනාධිපතිවරයා අතර සිදුකළ සාකච්ඡාවක් අතරතුරදී ඔවුන් මේ බව ප්‍රකාශ කළේ යැයි ඒ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා,
‘බාධාවකින් තොරව තුන්වැනි සමාලෝචනය සම්පූර්ණ කරන්නත් ඒ හරහා අපිට 4 වන වාරිකය ප්‍රමාද නොවී ලබා ගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඒක ඉතා වැදගත් අපිට. යම්කිසි හේතුවක් නිසා 04 වැනි වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වුණොත් රටේ ආර්ථික තත්ත්වයට කිසියම් අහිතකර බලපෑමක් ඇති වෙනවා.’
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් අනුමත වූයේ 2023 වසරේ මුල් භාගයේදී වන අතර එහි පළමු වාරිකය 2023 මාර්තු මාසයේ අනුමත විය. අනතුරුව එහි දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේත්, තෙවැනි වාරිකය ඉකුත් ජූනි මාසයේදීත් ලැබුණු අතර ඒ අනුව මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
එසේම ඊට සමගාමීව සිදුකළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ද සාර්ථකව එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි ද ශෙහාන් සේමසිංහ මහතා කියයි.