වයස අවුරුදු 20 ක සහ වයස අවුරුදු 15 ක එකම පවුලේ දැරියන් දෙදෙනෙකුව බරපතළ අපයෝජනයකට ලක්කළ බවට චෝදනා එල්ලවූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ පංගොල්ලාමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි බවට පැවසෙන සිය පෙම්වතුන් මුණගැසීම සඳහා අපයෝජනයට ලක්ව ඇති බව සඳහන් දැරියන් දෙදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට මව්පියන්ට නොදන්වා කොළඹට පැමිණ ඇති බවටයි.
ඔවුන්ට කොළඹදී සවස් වනතුරු සිය පෙම්වතුන් හමුව නොමැති බවත් අනතුරුව ත්‍රිරෝද රථයක නැගී ගාලුමුවදොර පිටියට ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එහිදී තිරෝද රථ රියදුරු පවසා ඇත්තේ එම ස්ථානයේ රාත්‍රියේ රැඳී සිටීම අවදානම් බැවින් අකුරණ ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටීමට අවශ්‍ය කටයුතු සකස් කර දිය හැකි බවත්ය.
එම දැරියන් කොළඹ සිට අකුරණට ඇති දුර ප්‍රමාණය නොදන්නා බැවින් එම යෝජනාවට එකඟවී ඇති බවටයි වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ.
පසුව තිරෝද රථ රියදුරු සමග එම දැරියන් අකුරණ පිහිටි ඔහුගේ මිතුරාගේ නිවසට රැගෙන ගොස් ඇති අතර එහිදී තිරෝද රථ රියදුරු එම නිවසේ සිටින සිය මිතුරාට පවසා ඇත්තේ ඔවුන් තම දියණියන් බවත් මහනුවර ප්‍රදේශයේ පවතින නඩුවක් සඳහා පැමිණි බවත් නඩුව අවසන් වී ඔවුන් නැවත රැඟෙන යන බවත්ය.
එම නිවසේ සිටි අදාළ සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ මිතුරා බවට හඳුන්වන පුද්ගලයාගේ බිරිඳ, පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ එයට එකඟ වී ඇති බවාටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුදින ත්‍රිරෝද රථ රියදුරු නැවත පැමිණෙන බව පැවසු බැවින් එම නිවසේ සිටි මිතුරාගේ බිරිඳ, පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ අසනීප තත්ත්වයේ පසුවන ඥාතියෙකු බැලීම සඳහා නිවසින් පිටව ගොස් තිබෙනවා.
එදින රාත්‍රියේදී අදාළ සැකකාර ත්‍රිරෝද රථ රියදුරුගේ මිතුරා බවට පැවසෙන පුද්ගලයා විසින් එම තරුණියන් දෙදෙනාව බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවටයි මේ වනවිට කරුණු වාර්තා වී ඇත්තේ.
පසුදින සැකකරු විසින්ම දැරියන් දෙදෙනාව බස් රථයකට නංවා ඇති අතර එහිදී එම දැරියන් විසින් සිය මව්පියන්ට සිද්ධිය පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් පොලීසියට මෙම අපරාධය පිළිබඳව දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ අලවතුගොඩ පොලීසිය විසින් සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ මිතුරාව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ තිබෙනවා.
ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ මිත්‍රයා දැන හඳුනාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව බන්ධනාගාරගතව සිටියදී බවටයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව පොලීසිය පවසන්නේ අදාළ දැරියන් සැකකාර ත්‍රිරෝද රථ රියදුරු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බවයි.
මේ වනවිට දැරියන් කොළඹ සිට අකුරණ දක්වා රැගෙන ගිය සැකකාර ත්‍රිරෝද රථ රියදුරු සොයා අලවතුගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.