E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා.
එම ආයතනය සඳහන් කළේ E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) ලබාදෙන බව පවසා මෙම ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.
එබැවින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු පුද්ගලයකුට හෝ ආයතනයකට මුදල් ලබාදීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.
එසේ මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.
දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාගැනීම සඳහා දකුණු කොරියාව හා ශ්‍රී ලංකා රජයන් දෙක අතර ගිවිසුම්වලට එළැඹිය යුතු බවත්, මෙතෙක් එවැනි ගිවිසුමකට එළැඹී නොමැති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පවසා ඇත්තේ 2004 වර්ෂයේ සිට ශ්‍රී ලාංකිකයින් EPS- E9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කරනු ලබන බවයි.
එමෙන්ම, කෙටි කාලීන රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට අවශ්‍ය නම් දකුණු කොරියාවේ ප්‍රාන්ත සමඟ ශ්‍රී ලංකාවේ පළාත් සභා අදාළ ගිවිසුම්වලට එළැඹිය යුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කළා.
“2004 වර්ෂයේ සිට ශ්‍රී ලාංකිකයින් EPS- E9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කරනු ලබනවා. ඒ වගේම පෑස්සුම්කරු (වෙල්ඩර්) රැකියාව සඳහා පුද්ගලික අංශය මගින් E7-4 යන වීසා කාණ්ඩය යටතේ පසුගිය කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කරනු ලැබුවා. ඒ වගේම පසුගිය සමයේදී දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් අප සොයා බැලුවා. එහිදී අනාවරණය වුණේ කෙටි කාලීන රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට අවශ්‍ය නම් දකුණු කොරියාවේ ප්‍රාන්ත සමඟ ශ්‍රී ලංකාවේ පළාත් සභා අදාළ ගිවිසුම්වලට එළැඹිය යුතු බවයි.
මෙම E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිඳු තීරණයක් අරගෙන නෑ වගේම කිසිඳු ගිවිසුමකට මෙතෙක් එළඹිලා නෑ. ඒ අනුව කෘෂිකාර්මික හා ධීවර රැකියා සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යොමු කිරීම සිදුවන්නේ නෑ. අපිට තොරතුරු වාර්තා වෙනවා විවිධ පුද්ගලයින් E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා විශාල වශයෙන් මුදල් ලබා ගන්නා බවට. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නෑ.
ඒ වගේම දකුණු කොරියානු තානාපති කාර්යාලය දැනුම්දීලා තියෙනවා E-8 වීසා කාණ්ඩය යටතේ පෞද්ගලික අංශයට ශ්‍රමිකයන් යොමු කරන්න බෑ කියලා. මෙම රැකියා සඳහා යෑමට කිසිඳු අයකුට මුදල් ගෙවන්න එපා.”