ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඔවුන් පනවා තිබූ සීමාවන් මෙසේ ලිහිල් කර ඇත.

එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The Times of Israel පුවත්පත වාර්තා කළේ අමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ පසුගිය සතියේ ගොනුකර තිබූ පෙත්සමක සඳහන් ව ඇත්තේ ෆාර්හාඩ් ශකාරී නම් ඇෆ්ඝන් ජාතිකයෙක් ඉරාන බලධාරීන් විසින් එම ප්‍රහාරය මෙහෙයවීම සඳහා යොදවා තිබූ බවයි.

එම පුවත්පතට අනුව ඔහු පවසා ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි.

පසුගිය ඔක්තෝබර් 23 වනදා ඊශ්‍රායලය විසින් එරට පුරවැසියන්ට ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදි.

ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පසුගිය 23 වනදා පැවසීය.

පසුගියදා රජය නිවේදනය කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් ය.

එම සැකකරුවන් අතර මාලදිවයින් ජාතිකයෙක් ද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here