මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළා.

ඒ එම පෙත්සම අද (25) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂිකාවක් වන හංසනි අලහකෝන් සිසුවිය විසින් ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත්තේ විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක්.

උසස් පෙළ අධ්‍යන කාලය, දින 107 ක් සම්පූර්ණ විය යුතු බව 39/2023 චක්‍ර ලේඛයේ පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සිසුවිය මෙම අධ්‍යයන කාල සීමාවට පෙර මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සිය පෙත්සම මගින් සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න සිසු සිසුවියන්ට මහත් අසාධාරණයක් වි ඇති බවත්, නියමිත පරිදි විෂයමාලා සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවත් ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ අනුව පෙත්සම්කාර සිසුවිය තම පෙත්සම විභාගයට අවසර දෙන ලෙසට සහ උසස් පෙළ විභාගය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට සහ අදාළ කාල සටහන බලශුන්‍ය කරන ලෙසටද ඉල්ලා තිබෙනවා.

පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලත් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මේ වන විට විභාගය ආරම්භ කර ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති තීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු දක්වමින්, පෙත්සම සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශවය කරන ඉල්ලීමට අවසර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමටද අවසර දෙන්නැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලත් විග්නේෂ්වරන් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව සංශෝධන පෙත්සමට අවසර දුන් අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවීමට නියෝග කරනු ලැබුවා.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here