ආණ්ඩුවේ ඇමති සංඛ්‍යාව අඩු කිරීමේ ඉල්ලීම ජනප්‍රිය වූවකි. එයට හේතු දෙකක් ඇත. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමති ධූර වරදාන ලෙස
ලබා දී පාර්ලිමේන්තුවෙහි වැඩි බලයක් හදා ගැනීමට දැක්වූ අප්‍රසාදය, යෝධ ඇමති මණ්ඩල වලට විරුද්ධ මතයක් ලෙස හැදින. එවැනි යෝධ ඇමති මණ්ඩල සඳහා මහජන මුදල් නාස්ති නොකළ යුතු යැයි තර්ක කෙරිණ. ඇමති ධූර එළෙස සීමා කිරීමේදී අමාත්‍යාංශ වෙන් කිරීම, විද්‍යානුකූලව සිදු කළ යුතුයැයි ඊළගට ඉදිරිපත් කෙරුණු තර්කය විය.
අනතුරුව අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාවේ උපරිමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුලු විය. ජා.ජ.බට පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති හෙයින් මහජන මුදල් නාස්ති නොකරන බව කීමට ඔවුහු අමාත්‍ය මණ්ඩලය 22 ට කුඩා කර ගත්හ. ඇමති මණ්ඩලය කුඩා කළ පමණින් මහජන මුදල් නාස්තිය අඩු වන්නේද?
මහජන මුදල් නාස්තිය එකකි. අනවශ්‍ය ලොකු ඇමති මණ්ඩලයකට මුදල් වැය කිරීම තවකකි. ඇමතිවරයෙකු නඩත්තු කිරීමට වඩා බොහෝ සෙයින් වැඩි මුදලක් වැය වන්නේ ගොඩනැගිලි කුලී සමග අමාත්‍යාංශයක් නඩත්තු කිරීමටය. එනිසා වැඩි අවධානයක් යොමු විය යුත්තේ ඇමතිවරුන් අඩු කිරීමට වඩා අමාත්‍යාංශ සංඛ්‍යාව අඩුකර ගැනීමට ය.
අමාත්‍යාංශ සංඛ්‍යාව අඩුකර ගැනීම යහපත් ආණ්ඩු පාලනයක් සම්බන්ධ කතිකාවේ නොඇසෙන මාතෘකාවකි. “…. විෂය ක්ෂේත්‍ර අනුව තාර්කික ගැලපීමක් මත අමාත්‍යාංශ ගොනු කිරීම හා ඒවාට අවශ්‍යවන ආකාරයට දෙපාර්තමේන්තු වෙන් කිරීමේ වුවමනාව සැබවින්ම ආණ්ඩු පාලනයට අවශ්‍ය වූවකි.” යැයි මම ඉකුත් නොවැම්බර 19 වන දින “කලින් කියුව විද්‍යාත්මකව ඇමති මණ්ඩලය පිහිටුවීම අමතක වෙලා” යැයි වන ලිපියෙහි ලීවෙමි.
ආණ්ඩු පාලනයක දෛනික ක්‍රියාකාරිත්වය සම්බන්ධ වගකීම් පැවරෙන්නේ අමාත්‍යාංශ වලටය. එවැනි බොහෝ වගකීම් සඳහා අමාත්‍යාංශ පෙළ ගස්වා ගන්නේ කෙසේද යන්න වැදගත් වන්නකි. සමාජ ක්‍රියාකාරිත්වයෙහි සාධනීය බලපෑම් සඳහා ඇතැම් අමාත්‍යාංශ සතු දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන එක ගොනුවකට තබා ගැනීම ආණ්ඩු පාලනයට අතිශය වැදගත්ය.
එවැනි කාර්යක්ෂම ගොනුවක් සඳහා දැනට ඇති ඇතැම් අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන ලෙස නැවත ස්ථාපිත කළ යුතු වන්නේය. එවැනි වෙනස් කිරීම් ගණනාවක් ඉහතින් සඳහන් කෙරුණු මගේ ලිපියෙහි ඇති නමුත් නිදසුනක් වශයෙන් මෙහි එකක් හෝ දෙකක් සඳහන් කළහොත් සංස්කෘතික කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශ යැයි පිහිටුවාගෙන ඇත්තේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හා රාජ්‍ය ආයතනයකි. එනිසා සංස්කෘතික සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුත් සංස්කෘතික ත්‍රිකෝණයත් සමග වෘත්තීය පුහුණු අධිකාරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයෙකු යටතේ තැබීම වඩා පලදායක ය. බිඳ වැටී ඇති අපගේ සමාජ හර පද්ධතීන්, සදාචාරය, සමාජ විනය සැළකූ විට, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අන් සියල්ලට වඩා සමාජීය වැදගත්කමක් ලැබිය යුත්තකි. එනිසා ඒ සියලු ආයතන එක් තැන්කර එක අමාත්‍යාංශයක් පිහිටුවීම අනිවාර්ය වන්නකි.
අමාත්‍යාංශ “විද්‍යානුකූලව” වෙන් කළ යුතු යැයි කීමේ අර්ථය ඇත්තේද එහි ය. වඩා සාධනීය, යහපත් ආණ්ඩු පාලනයක සමාජ ප්‍රතිලාභ වර්ධනය කිරීමේ අවකාශය පුළුල් වන්නේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු රටේ සංවර්ධනය අරමුණු කරමින් ගොනු කිරීමෙහිය. ඇමතිවරුන් සංඛ්‍යාව අඩු වන්නේද එවැනි අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමෙන් ය. එනිසා අප තේරුම් ගත යුත්තේ, ඇමති සංඛ්‍යාව අඩු කළ පමණින් සමාජ ප්‍රගමනයට අලුත් හයියක් අලුත් දේශපාලන වෙනසක් එකතු වන්නේ නැති බවය. එය සිදුවන්නේ, සංවර්ධන කාර්යන් සඳහා අමාත්‍යාංශ අලුත් ඉදිරි දැක්මක් ඇතිව අලුතින් සංයුක්ත කිරීමෙන් ය.
මෙයටම අදාල තවත් කරුණක් ගැන කෙටි සටහනක් තබා මෙය අවසන් කළ යුතු යැයි සිතින. එක් එක් අමාත්‍යාංශ යටතේ ඇමතිවරුන්ට ඇමතිවරියන්ට බාර කෙරෙන රජයේ දපාර්තමේන්තු, සංස්ථා, අධිකාර වැනි ආයතන නම් කෙරුණු අංක 2412/08 අංක දරණ (2024) නොවැම්බර 25 වන දින ගැසට් පත්‍රිකාව නිකුත් වූ සැණෙන්, ඇමතිවරුන්ට ඇමතිවරියන්ට ලබා දී ඇති ආයතන ගණන් කිරීම මාධ්‍යයන්හි පවා වහා ඇරඹින.
ජනාධිපති කෙතරම් විශාල බලයක් තමන් අත තබා ගන්නේදැයි කීමට වඩා, ඇමතිවරුන් අතර ඔහුට ඇති සමීපතාව හා විශ්වාසය ගණන් හදන්නට ඒ සංඛ්‍යා යොදා ගැණුනි. එනිසා ජනාධිපති රාජ්‍ය ආයතන 94 ක් තමන් වෙත රඳවා ගෙන ඇති අතර, කිසිවිටක තමන් ජ.වි.පෙ යැයි නොකියන, හැමවිටම තමන් මාලිමාවේ යැයි අවධාරණය කරන අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියට ඇත්තේ ආයතන 26 ක් යැයි කියනු ලැබිණ. එවගේම වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහට ලබා දී ඇත්තේ ආයතන 17 ක් යැයිද විදේශ රැකියා “කාර්යාංශය” ලෙස කම්කරු අමාත්‍යාංශයට බාර දිය යුතු ආයතනයද ඇතිව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ට ලබාදී ඇත්තේ රාජ්‍ය ආයතන 09 ක් පමණකැයිද කියති.
ආණ්ඩු විරෝධය වෙනුවෙන් වන මේ ගණන් හැදිල්ලේ බරපතල අවුලක් ඇත. අමාත්‍යාංශ සඳහා රාජ්‍ය ආයතන ලබා දිය යුත්තේ අමාත්‍යාංශ සතු විෂය පථය අනුව පමණි. විජිත හේරත් ජා.ජ.බ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු වන හෙයින් ඔහුට වැඩි ආයතන සංඛ්‍යාවක් දිය යුතු යැයි “ආබාධ තැනැත්තන් සඳහාවන ජාතික සභාව, වනජීවි දෙපාර්තමේන්තුව, උක් පර්යේෂණ ආයතනය” වැනි ආයතන සමූහයක් ඔහුගේ අමාත්‍යාංශයට දිය නොහැක. විජිත හේරත් විදේශ කටයුතු ඇමති වශයෙන් මෙරට ඇති විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතන 64 ට පමණ සහ විදේශ රටවල ඇති අපගේ මහ කොමසාරිස් සහ තානාපති කාර්යාල 50 ට පමණ වගකිව යුතුය. ඒ සමග සළකා බැලිය යුත්තේ ආයතන සංඛ්‍යාව නොව, අමාත්‍යාංශයට පවරා ඇති වගකීම් ලේඛනය සම්පූර්ණද නැද්ද යන්න ය.
ඉහත කාරණය පැහැදිලි කෙරෙන නිදසුනක් ලෙස කම්කරු අමාත්‍යාංශය සළකා බලන්නට හැකිය. කම්කරු අමාත්‍යාංශය යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ඇත්තේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් හා සුභසිද්ධිය වෙනුවෙන් මැදිහත්වීමට ය. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය සතු විෂයන් හා කාර්යන් 18 ක් ගැසට් කර ඇත. එහෙත් එහි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14.1(ඈ) අනු ව්‍යවස්ථාව යටතේ වන වෘත්තීය සමිති සංවිධානය කිරීමේ හා සමිති සාමාජිකත්වය ගැනීමේ මූලික අයිතිය තහවුරු කිරීම” සඳහන්ව නැත. ප්‍රශ්න කළ යුත්තේ ආයතන ගණන නොව, ප්‍රශ්න කළ යුත්තේ එය වගකීමක් ලෙස ගැසට් නොවුනේ මන්දැයි කියා ය. ආණ්ඩුවක් අභියෝග කළ යුත්තේ නොපනත්කම් මත සහ වැරදි ගමන් මග අනුව මිස ඔවුන්ගේ පුද්ගල සම්බන්ධතා සොයමින් නොවේ.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී