විදේශ විනිමය උපයා ගැනීමේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නංවමින් ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 32,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,097.1) අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන කාර්යසාධනය ශ්‍රී ලංකා රේගුව මඟින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය අමෙරිකානු ඩොලර් මිලියන 1,097.1ක් වූ අතර එය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන වන අතර 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේදී අපනයන කාර්යසාධනය 8.44%කින් වැඩි වී තිබෙන බවද එම මණ්ඩලය පෙන්වා දෙනවා.

2024 ඔක්තෝබර් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 323.17ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 19.75%කින් වැඩිවී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ඔක්තෝබර් මාසය සඳහා වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 18.57%ක වර්ධනයක් සහිතව, අමෙරිකානු ඩොලර් මිලියන 1,420.27ක් ලෙස වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා :

“2024 ඔක්තෝබර් මාසයේදී අත්කරගත් කැපී පෙනෙන අපනයන කාර්ය සාධනය නිහතමානීව අගය කරනවා. වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනවල (18.22% වර්ධනය) සැලකිය යුතු ලෙස වැඩි වීම යහපත් ප්‍රවණතාවක්. අපනයන ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන් සිදු කරන මෙම කැපවීම පිළිබඳ මම ප්‍රශංසා කරන අතර අපගේ අපනයන විභවයන් තවදුරටත් ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට ඉදිරියේදී අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙනවා”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here