රජයේ සේවකයින්ට 2025 අය-වැයෙන් ස්ථිරවම වැටුප් වැඩි කිරීමක් කරනවා යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති වශයෙන් මහාචාර්ය අනිල් ජයන්ත

මාධ්‍යට කියන්නට කලියෙන් ඔහුගේ පළමු වගකීම වන කම්කරු ඇමති වශයෙන් පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම ගැන ඔහුගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය කිව යුතුය.

ඔහු රාජ්‍ය සේවය ගැන කතා කරන්නට මාස 05 ට කලින් මාලිමා ආණ්ඩුවේ “වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන” අමාත්‍ය වසන්ත සමරසිංහ, පෞද්ගලික අංශයේ ජවිපෙ වෘත්තීය සමිති සම්මේලනය වන අන්තර් සමාගම් සේවක සංගමය නිල වශයෙන් නියෝජනය කරමින් මාසික ජාතික අවම වැටුප රු.50,000 ක් කළ යුතු යැයි 2024 ජුලි 19 දින ඒකාබද්ධ වෘත්තීය සමිති නිවේදනයක් මගින් ඉල්ලා සිටි බව, කම්කරු ඇමති මහාචාර්ය අනිල් ජයන්ත දන්නේ දැයි නොදනිමි.

මීට මාස 03 ට කලින් මේ වසරේ සැප්තැම්බර් මස පෞද්ගලික අංශයේ අවම වැටුප රු.21,000 දක්වා වැඩි කරනු ලැබුවේ 2005 අංක 36 සහ 2016 අංක 04 දරණ අයවැය සහන පනත් සංශෝධනය කරමින් ජනාධිපති වික්‍රමසිංහ පාලනය යටතේය. ඒ වනවිට රාජ්‍ය සේවයේ මාසික අවම වැටුප, පෞද්ගලික අංශයේ අවම වැටුපට වඩා දෙගුණයකටත් වඩා වැඩි රු.48,000 ක් විය. 

රජයේ වෛද්‍ය වෘත්තිකයින් ඔවුන්ගේ අසාධාරණ අමානුෂික දීමනාවක් වන රු.35,000 ක්වූ “රාජකාරි බාධා, පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමනාව” වන DAT දීමනාව පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2024/01/11 දින පොදු චක්‍ර ලේඛ ලිපි අංක 02-06/2024 මගින් රු.70,000 දක්වා ඉකුත් ජනවාරියේ සිට වැඩිකර ගෙන තිබුණි.

ඒ පසුබිමෙහි, අමාත්‍ය වසන්ත සමරසිංහ වෘත්තීය සමිති නායකයෙකු ලෙස මීට මාස 05 ට කලින් ඉල්ලූ රු.50,000 ක මාසික අවම වැටුප හෝ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සදහා ලබාදීමට කම්කරු ඇමති මහාචාර්ය අනිල් ජයන්ත පොරොන්දු විය යුතුය.

වසන්ත සමරසිංහද ඒ අවම වැටුප දැන් ඉල්ලා සිටිය යුතු යැයි මම කියමි.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here