උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණය හමුවේ ඇතිවූ සමථය අනුව කටයුතු කර තිබේදැයි පැහැදිලි කරන වාර්තාවක් ලබන පෙබරවාරි මස 27 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නීතිපතිවරයාට දැනුම් දුන්නා.

අධිකරණය හමුවේ ඇති කරගත් සමථයට අනුකූලව මෙතෙක් කටයුතු කර නොමැති බව සඳහන් කරමින් පෙත්සම්කාර සංවර්ධන නිලධාරීන් විසින් ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම දැනුම් දීම සිදුකළා.

ගාමීණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසෙම සලකා බැලුවා.

සංවර්ධන නිලධාරීයෙකු වූ චතුර දේවපුර මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම ගොනුකර තිබු අතර, එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ගුරු පුහුණුව ලැබූ සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයක් ඇති වුවද එම සමථය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි.

මීට අදාළව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here