යාපනය ප්‍රදේශයේ වායු ගුණත්මකතාව පිළිබඳව මාසයක් අඛණ්ඩව පරීක්ෂණ කර එහි අහිතකර තත්ත්වයක් ඇත්නම් කරුණු ඉදිරිපත් කරන්නැයි, අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට අද (17) නියෝග කළේ ය.

ඒ , යාපනයේ පදිංචි වෛද්‍ය උමාසුගී නඩරාජා මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බලමිනි.

යම් හෙයකින් යාපනය ප්‍රදේශයේ වායු ගුණාත්මකතාවයෙහි අහිතකර තත්ත්වයක් පිළිබඳ තොරතුරු අනාවරණය වුවහොත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට ඇති හැකියාව ද සොයා බලා දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය , පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කළේ ය.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ, යුද්ධයෙන් පීඩාවට පත් වූ යාපනය අර්ධද්වීප ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි.

යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වාසී රටවලින් ඇදී එන අහිතකර වායූන් හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව පරීක්ෂා කරන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළ ද ඊට පියවර නොගත් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේ ය.

පෙත්සම් විභාගය මාර්තු 6 වැනිදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here