ශ්‍රී ලංකාව 2022 වසරේ දී බංකොලොත් වූ බවටත් අයි.එම්.එෆ්. සහාය ඇතිව දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පසුව මේ වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදී ඇති බවටත් වන පුවත් අපට ප්‍රසිද්ධ මාධ්‍ය තුළ මෙන්ම වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය තුළ දැකිය හැකිය. මෙයට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින් ද සිරිවර්ධන මහතා නිකුත් කළේ යැයි කියන එක්ස් පණිවිඩයක් ගැනත් සඳහන්ව ඇත. ඇත්ත වශයෙන්ම ඔහු නිකුත් කළ එක්ස් පණිවිඩයේ සඳහන් වූයේ කුමක් ද යන්නත් අපි මේ ලිපියෙන් සලකා බලමු. ශ්‍රී ලංකාව 2022 වසරේ දී බංකොලොත් වූ බවට ප්‍රකාශ වූයේ 2022 අප්‍රේල් 12 වැනි දින, ශ්‍රී ලංකාව විසින් ඒකපාර්ශ්වීයව තෝරාගත් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර නිසාය. එහෙත් මේ කියන ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම ගැන එවකට මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයේ කිසි තැනක බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමක් සිදුකර නැති අතර එහි එවැනි ආකාරයේ සඳහනක් ද නැත. මේ විදේශ ණය ගෙවීම අත්හිටුවීම රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමක් ලෙස හැඳින්වීම නිවැරදි දෙයක් නොවන බවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පසුව පාර්ලිමේන්තු කාරක සභා හමුවේ ප්‍රකාශ කර තිබුණු බව ද අපට මතකය. එසේ වුවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා රට බංකොලොත් වූ බව මෙන්ම බංකොලොත් බවින් මිදීම ගැනත් ඕනෑ තරම් අදහස් ප්‍රකාශ කර ඇත. ඔහු පමණක් නොව, තවත් දේශපාලනඥයන් බොහෝ දෙනෙක් ද 2022 අප්‍රේල් 12 වැනිදා එවකට රජය විසින් සිදුකළ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට හැඳින්වූයේ රට බංකොලොත් වීමක් ලෙසය. එය තාක්ෂණිකව සහ ආර්ථිකමය වශයෙන් නිවැරදි අදහස නොවිය හැකිය. එහෙත් මෙය පොදුවේ කාටත් තේරෙන ලෙස සමාජගත වූයේ රට බංකොලොත් වූ බවටයි. මෙසේ සාමාන්‍ය අර්ථයෙන් මාධ්‍ය ඇතුළු බොහෝ දෙනෙක් ද රට බංකොලොත් වීමක් ලෙස මේ සිදුවීම සඳහන් කරනු ලැබිණි.
එවකට රජය නිල වශයෙන් රට බංකොලොත් වූ බවක් නොකීවත් හිටපු ජනාධිපතිවරයා ඇතුළු තවත් බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ හැඳින්වූ පරිදි, 2022 වසරේ රට බංකොලොත් වීමෙන් පසුව අයි.එම්.එෆ් සහාය ලබමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ බව අපි දනිමු. එම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හමුවේ මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය කිසියම් ස්ථාවර මට්ටමකට පත්ව ඇත. නව රජය යටතේත් එම ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට සිදුවෙමින් තිබේ. මේ අතර පසුගිය දෙසැම්බර් 20 වැනිදා සුවිශේෂී දෙයක් සිදු විය. එනම් 2024 නොවැම්බර් 25 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වූ ආරාධනා පත්‍රය (ආරාධනා සංදේශය) මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 දෙසැම්බර් 16 වැනි දින හුවමාරුව සඳහා කැමැත්ත තහවුරු කිරීමෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් දේශීය බැඳුම්කර විකල්පය යටතේ පිළිගනු ලැබූ වලංගු පිරිනැමීම මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, නව විචල්‍ය කූපන් (නිත්‍ය ණය පහසුකම් + 0.50%) ශ්‍රී ලංකා රුපියල්වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර අටක් (8) බවට පරිවර්තනය කර 2024.12.20 වැනි දින පියවා ඇත. එය පියවන ලද ආකාරය ද මහ බැංකුව විසින් එදිනම නිවේදනය කරන ලදී. මේ සිදුවීමත් සමග Fitch Ratings ආයතනය අපේ ශ්‍රේණිගත කිරීම ඉහළ නංවමින් නිවේදනයක් නිකුත් කරන ලද අතර මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද ඊට පසු දින එනම් 2024 දෙසැම්බර් 21 වැනි දින එක්ස් පණිවිඩයක් නිකුත් කර තිබුණි. එහි මෙසේ සටහන් වී තිබේ.
‘‘20th December 2024 marked a major milestone in our economic recovery process as Sri Lanka officially exited sovereign default’ This has been a long and difficult journey” comprising painful reforms and a very complex debt restructuring’
එහි සිංහල අදහස අපට මෙසේ සඳහන් කළ හැකිය.
‘2024 දෙසැම්බර් 20 වැනි දින ශ්‍රී ලංකාව නිලවශයෙන් ස්වෛරී පැහැර හැරීමෙන් ඉවත් වූ බැවින් අපගේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙය වේදනාකාරී ප්‍රතිසංස්කරණ සහ ඉතා සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත දිගු හා දුෂ්කර ගමනකි.’
මේ එක්ස් පණිවිඩයේ සැබෑ අර්ථය කිසියම් ආකාරයකට විකෘති කරමින් ‘රට බංකොලොත් භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20 වැනිදා දිනය ඓතිහාසික දිනයක් බවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි’ යනුවෙන් වූ පුවතක් ඔහු සඳහන් කළේ යැයි කියන තවත් කරුණු ද දක්වමින් එක්තරා වෙබ් අඩවියක පළව තිබිණි. එහෙත් ඒ ගැන මහින්ද සිරිවර්ධන මහතා මේ ලියුම්කරුට කියා සිටියේ එහි සඳහන් කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර එය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එවැනි ආකාරයේ ට්විටර් පණිවිඩයක් තමා කිසි දිනක නිකුත් කර නැති බවත් ඔහු සඳහන් කරයි.
2024 දෙසැම්බර් 20 වැනි දින ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත මට්ටම ඉහළ දමමින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන්ව ඇත.
‘Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign- Currency issuer Default Rating (DR) Restricted Default / ‘RD’ සිට ‘CCC+’ දක්වා උසස් කර ඇත. Fitch ආයතනය සාමාන්‍යයෙන් ‘CCC+’ හෝ ඊට අඩු ශ්‍රේණිගත කිරීමක් සහිත ස්වෛරී රාජ්‍යයන්ට ඉදිරි දැක්ම ( Out look) දක්වන්නේ නැත.
Fitch විසින් දේශීය මුදල් Issuer Default ශ්‍රේණිගත කිරීම ‘CCC-’ සිට ‘CCC+’ දක්වා වැඩි දියුණු කර ඇත. එය දිගුකාලීන විදේශ මුදල් Issuer Default ශ්‍රේණිගත කිරීම සමග සමපාත වන අතර, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමෙන් සහ සර්ව ආර්ථික දර්ශක සඳහා වැඩි දියුණු කළ දැක්ම සමගින් දේශීය මුදල් ණය මත තවත් පැහැර හැරීමක් සඳහා වන අවදානම අඩු වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ තාවකාලික අත්තිකාරම් නව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් බවට හුවමාරු කර ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් මාසයේදී සිය දේශීය ණය ප්‍රශස්තකරණයේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා (26දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ රට බංකොලොත් බවින් මිදුණු බවක් නොව, ආර්ථික ස්ථායීකරණයට මූලික පදනම දමා අවසන් බවකි. මේ මාධ්‍ය හමුවට මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා ද එක්ව සිටියේය.
නව රජය යටතේ දියත් කරන ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යට කරුණු ප්‍රකාශ කරන ලදී. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටියහ. එහිදී ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් මැයෙන් නිකුත් කර තිබූ මාධ්‍ය ප්‍රකාශයේ ආර්ථික ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ද්විපාර්ශ්වික ණය ඇතුළු කරුණු ගැන විස්තර දක්වා තිබුණි. එහි ඒ ගැන මෙසේ සඳහන්ව ඇත. ආර්ථික ස්ථාවරත්වය පසුගිය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අගාධයෙන් රට ගොඩගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලීම මූලික තැනක් ගනී. රජය බලයට පත්වන අවස්ථාවේදී, අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් විසින්ම ඒකපාර්ශ්විකව බාහිර ණය සේවා, 2022 අප්‍රේල් මාසයේ දී අත්හිටුවන ලද අතර, වසර 4ක කාලයක් තුළ වාරික 8ක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 3ක පමණ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත් වී ණය තිරසර විශ්ලේෂණයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාද වීම සහ එහි වූ සංකීර්ණ ස්වාභාවය නිසා රටට අමතර වියදම් දැරීමට සිදු වූ අතර ජනතාව මත අමතර බරක් ද පැටවිණි. කෙසේ වෙතත්, සමාජ, දේශපාලන හා ආර්ථික ඉදිරි දැක්මකට අනුව පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා, රජය, රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමග ඉදිරියට ගමන් කරමින් සිටී. ඒ අනුව, වැඩසටහන් පරාමිතීන් හා රාජ්‍ය ආදායම් ක්‍රමවේදයන්ට අනුකූලව, සුදුසු මැදිහත්වීමකින් සහ කාලෝචිත පහසුකම් සැලසීමකින් 2024 නොවැම්බර් 26 වැනි දින තුන්වන සමාලෝචනයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹීමට රජයට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට පෙරාතුව, අයි.එම්.එෆ් මීළඟ වාරිකය ලබාගැනීම සඳහා රජය, අවශ්‍ය පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා පවත්වමින් සිටී.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම
ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දේශීය හා බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 ජූලි මාසයේදී සාර්ථකව නිම කරන ලදී. බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ පදනම් සහ තර්කන මත බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කරන අතර ඉතිරිය නිල ද්විපාර්ශ්වික ණය සහ පුද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන්ගෙන් සමන්විත වේ.
ද්විපාර්ශ්වික ණය
රටවල් 17ක් නියෝජනය කරමින් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතීත්වය දරනු ලබන නිල ණය හිමි කමිටුව, චීනයේ එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, අනෙකුත් නිල ණය හිමියන් (ක්වේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්තානය) සහ අනෙකුත් වාණිජ ණය හිමියන් සමග එක්ව ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් කටයුතු කරයි. නිල ණය හිමි කමිටුව විසින් 2024 ජූනි මාසයේදී අදාළ නියමයන් සහ කොන්දේසිවලට එකඟ වූ අතර, ප්‍රතිකාරවල සංසන්දනාත්මක බව සහතික කරමින්, 2023 ඔක්තෝබර් මාසය වනවිටත් එකඟ වූ රාමුව තුළ චයිනා එක්සිම් බැංකුව සමග අදාළ ණය ප්‍රතිව්‍යුහගත කර තිබිණි. දළ වශයෙන් ඩොලර් මිලියන 300ක් සහ ප්‍රතිව්‍යුහගත කිරීමට යටත්ව මුළු විදේශ ණයවලින් සියයට 1ක් පමණ නියෝජනය කරන නිල ණය දෙන්නන් හැර අනෙකුත් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එකඟ වූ රාමුව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් එකඟතාව ලබා දී ඇත.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන්
බොහෝ ප්‍රමාද වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, එකඟවීම්, එකඟ නොවීම්, යෝජනාවල වෙනස් වීම, ණය තිරසර විශ්ලේෂණය (DSA) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුකූලව ගැළපීම ආදිය සමග සාකච්ඡා අදියරයන් කිහිපයක් පසු කර, අවසානයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 19 වැනි දින ප්‍රතිපත්තිමය පදනම මත ( AIP) එකඟතාව ලැබිණ. පසුගිය සමයේ ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක පොලිය ද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර Ad Hoc Group (AHG) සහ Local banking Consortium විසින් නියෝජනය කෙරේ. කාලෝචිත ලෙස ක්‍රියාවන්ට ප්‍රමුඛත්වය ලබාදීම සහ පහසුකම් සැලසීම තුළින් නව රජය ආර්ථික ස්ථාවරත්වය කරා රට යොමු කිරීමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් කර ඇත. මූල්‍ය ස්ථායීතාවය සඳහා වන මෙම ප්‍රයත්නයන් ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු තෙවන පාර්ශ්වයන් විසින් ස්වාධීනව පිළිගෙන ඇති අතර, ශ්‍රේණිගත කිරීම් සටහන් කිහිපයකින් ඉහළ නංවා ඇත. මෙය කළ හැකි වූයේ නිවැරදි ප්‍රමුඛතාවය සහ ආර්ථික ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම හේතුවෙනි. එබැවින් රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන ගිය අතර ආර්ථිකය ස්ථාවර කිරීමේ තීරණාත්මක පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වැනි දින සාර්ථකව නිම කිරීමට පහසුකම් සලසා ඇත.
මේ කියන පරිදි නව රජයත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට මේ දක්වා පැමිණි ගමන්මගේ ඉදිරියට ගමන් කිරීම නිසා ආර්ථිකයේ මේ කියන කඩඉමට ළඟා වී ඇති අතර කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම සහ පහසුකම් සැලසීම මගින්, නව රජය ද රට ආර්ථික ස්ථායීතාව කරා ගෙන යෑමට අවශ්‍ය දේශපාලන කැපවීමක් පෙන්නුම් කර ඇති බව අපට පිළිගත හැකිය. මේ අනුව, රජය තම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ඒ සඳහා පහසුකම් සලසමින් සිටී. එසේ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ තීරණාත්මක පියවරක් ලෙස පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම යන කාර්යය, පසුගිය දෙසැම්බර් 20 වැනි දින සාර්ථකව නිම කිරීමට නව රජයට හැකිව ඇත. මෙසේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කළ හැකි වීම අපගේ ආර්ථිකය යථාවත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කඩඉමක් වන අතර දැන් අපට ණය හිමියන් සමග ඇතිකරගත් එම නව එකඟතා අනුව ණය ගෙවීම ආරම්භ කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා අයි.එම්.එෆ් සහාය ද ඇතිව තවත් දුෂ්කර සහ අභියෝගාත්මක ගමනක් යෑමට තිබේ. දේශපාලන වේදිකාවේ සහ මාධ්‍ය තුළ රට බංකොලොත් වීමක් ගැන සඳහන් වුවත් මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය එවැන්නක් පිළිගන්නේ නැත. එහෙත් 2022 දී රට මුහුණ දුන්නේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයටය. ඒ බව මහ බැංකු වාර්තාවේ ද සඳහන් වේ. මේ පසුබිම තුළ ආර්ථිකය යථාවත් කර ගැනීමේ මාර්ගයේ, 2024.12.20 වැනි දින සිදු වූයේ රට බංකොලොත් භාවයෙන් මිදීමක් දැයි මේ ලියුම්කරු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කිසිවිටෙකත් රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවක් කීවේ නැත. ඔහු කීවේ බංකොලොත්භාවය කුමක් ද යන්න ගැන සමාජය තුළ ලොකු විවාදයක් ඇති බවත් ණය ගෙවීම අත්හිටුවීම තුළ මේ අදහස ඇති වූ බවයි. වඩාත් පුළුල් වශයෙන් ඔහු කියා සිටි අදහස නම් මූල්‍ය ස්ථායීකරණයේ මූලික පදනම දමා ආර්ථිකය මෙහෙය වීමේ සුක්කානම අතට ගැනීමට සමත් වූ බවයි.
(උපුටා ගැනීම – දිවයින පුවත්පත)