ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමග ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි විය.

ප්‍රංශ ආණ්ඩුව 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙහි අංශ ගණනාවකට විපක්ෂයේ විරෝධයක් එල්ල විය.

එවැනි පසුබිමක පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ මත විමසුමකින් තොරව අග්‍රාමාත්‍යවරයා සිය විධායක බලතල භාවිත කරමින් සමාජ ආරක්ෂණ මූල්‍යකරණයට අදාළ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම මෙම විශ්වාසභංගයට හේතුවුණි.  

මිෂෙල් බානියේ අගමැති ධුරයට පත්වුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

විශ්වාසභංගයෝජනාව සම්බන්ධ විවාදයෙන් පසු පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 577 දෙනෙකු අතුරින් 331 දෙනෙකු විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.

ඉන් අනතුරුව සභාවේ කටයුතු අවසන් කරමින්, ප්‍රංශ කතානායකවරිය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් වෙත භාර දෙන ලෙසයි.

පසුගිය ජූලි මාසයේදී හදිසියේ පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් බහුතර බලයක් දිනා ගැනීමට සමත් වූයේ නැත.

එවැනි පසුබිමක, වාමාංශික පක්ෂ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අන්ත දක්ෂිණාංශික පක්ෂ ද සහයෝගය දැක්වීම විශේෂත්වයකි.

ප්‍රංශ ආණ්ඩුවක් කෙරෙහි මෙලෙස පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳ වැටී ඇත්තේ වසර 62කට පසුවයි.  

කෙසේ නමුත් ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන්ගේ ධුරයට මෙම විශ්වාසභංගයෙන් ඍජු බලපෑමක් නොමැති බව විදෙස් වාර්තාවල සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here