හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවයි.

ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (27) සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගියද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

අනතුරුව සැකකරුගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, ඔහු බිබිල ප්‍රදේශයේ රැඳී සිටින බවයි.

ඒ අනුව සැකකරුව ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබුවා.

සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here