බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් ගම්පොලින් වාර්තා වනවා.

මේ හේතුවෙන් එකොළොස්  දෙනෙකු  ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

එම බඹරුන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට  මෙන්ම වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි කාන්තාවන් අට දෙනෙකුට හා  මෙන්ම වෛද්‍ය සායනය පැවැත් වූ වෛද්‍යවරියටද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අටබාගේ කලවැල්ගොල්ල ප්‍රදේශයේ ගසක බැඳ තිබූ බඹර වදයකට උකුස්සකු පහර දී ඇති බවයි ගම්මු පවසන්නේ.

එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවකට මෙම බඹරුන් විද ඇති අතර, ඇය කෑ ගසමින් බඹරුන්ගෙන් බේරීම සඳහා රෝහල වෙත දිව ගොස් තිබුණා.

එම අවස්ථාවේ රෝහල තුළ වෛද්‍ය සායනයක් පැවැත්වෙමින් තිබීම නිසා වැඩි පිරිසක් එහි එක්ව සිටි අතර,

කාන්තාව කෑගසමින් එම පිරිස වෙත යාමත් සමඟ ඇය පසුපස පැමිණි බඹරුන් ඔවුන් සියල්ලටම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ පිරිස රෝහලේ ජනෙල් දොරවල් වසා ගෙන හා ගිනි ගොඩවල් ගසා බේරීමට උත්සාහ දරා ඇති අතර, පසුව ගිලන් රථ දෙකක් රෝහල වෙත ගෙන්වා බරපතළ ප්‍රහාරයන්ට ලක්වූ පිරිස ගම්පොළ රෝහල වෙත යවා තිබෙනවා.

රෝහල අසල තිබූ වෙළඳසැල්වල පිරිස් හට ද බඹර තර්ජන එල්ල වීම සමග ඔවුන්ද වෙළඳසල් වසා ගිනි දල්වා දුම් ගසා බේරීමට උත්සාහ ගත් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here