ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරා සංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ, අදාළ වියදම් සම්බන්ධයෙන් තරුණ සේවා සභාව කළ විගණනයක් මඟින්.

අදාළ කාලය තුල ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ එවක ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේයි.

මෙම විගණන වාර්තාව මඟින් අනාවරණය වී ඇත්තේ මෙම සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා තිස් දෙකෝටි තිස් තුන් ලක්ෂ අනූ තුන් දහස් දෙසිය හතළිස් නවයක මුදලක් වැය කර ඇති බවයි.

මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, පුත්තලම, දඹුල්ල, යාපනය, මහියංගනය, හැටන්, හිඟුරක්ගොඩ, බණ්ඩාරවෙල, වැලිසර, කොළඹ තුරඟ තරඟ පිටිය, කෙත්තාරාමය ක්‍රීඩාංගණය යන ස්ථානවල මෙම සංගීත සංදර්ශන පවත්වා තිබුණා.

එහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය මහජන ක්‍රීඩාංගණයේ පැවැති පැවැති සංදර්ශනයට රුපියල් 64,986,789ක්, බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 20,179,185ක්, මහරගම තරුණ මධ්‍යස්ථානයේ සංදර්ශනයට රුපියල් 16,667,851ක්, ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 31,417,778ක්, අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 9,491,477ක්, කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පැවැති සංදර්ශනයට රුපියල් 68,105,908ක්, පුත්තලම වෙරළ තීර ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 14,834,651ක්, දඹුල්ලේ පැවැති සංදර්ශනයට රුපියල් 15,289,150ක්,යාපනය මුත්තවේලි ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 39,037,339ක්, හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 234,592ක්, හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 14,830,835ක්, කොළඹ ඛෙත්තාරාමයේ පැවැති සංදර්ශනයට රුපියල්13,685,800ක්, කොළඹ තුරග තරඟ පිටියේ පැවැති සංදර්ශනයට රුපියල් 14,571,192ක්, වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 60,700ක්ද වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් සංදර්ශන සඳහා අතිවිශාල මුදල් ඇස්තමේන්තු කර තිබීම මෙහි විශේෂත්වයයි.

උදාහරණ වශයෙන් යාපනයේ පැවැති සංදර්ශනයට රුපියල් ලක්ෂ 491ක් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළද වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 390ක් පමණි. එමෙන්ම හැටන් සංදර්ශනයට රුපියල් ලක්ෂ 109ක් ඇස්තමේන්තු කළද වැය වී ඇත්තේ රුපියල් 234,592ක් පමණි. එමෙන්ම වැලිසර සංදර්ශනයට රුපියල් ලක්ෂ 421ක් ඇස්තමේන්තු කළද වැය වී ඇත්තේ රුපියල් 60,700ක් පමණි.

මේ අතර, මෙම විගණන වාර්තාව සියලු ඇමුණුම් සහිතව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව, මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා උපදෙස් දී ඇති බවද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here