වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබේ.
ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ(09) රැගෙන ඒමෙන් පසු වෛද්‍ය පරික්‍ෂණයකට යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය. සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට තහවුරු වීම හේතුවෙන් ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවා තිබේ. එම වාට්ටුවේ සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් මේවන විට රඳවා සිටි.
කෙසේ නමුත් ඊයේ රාත්‍රියේ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
බොදු බලසේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කෙරුණේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින්ය. ඊට අමතරව රුපියල් 1,500ක දඩයක් ද නියම කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් ඥානසාර හිමියන්ට අදාළ නඩුව ගොනු කර තිබුණි.